අතරමංවී

ටිකක් වෙලා ගිහින් ඇහැ ඇරුන අද උදේ මගේ සිතට නැගුන පළමු සිතිවිල්ල වෙනදට වඩා සම්පූර්නෙන්ම වෙනස් එකක්; ‘මම ඔස්ට්රේලියාවේ ගතකරන අන්තිම දවස අදයි’ කියලා.

1973 සිට පුරා අවුරුදු හතරක් ක්වීන්ස්ලන්ත සරසවියේ ඉගනුමෙන් පසු ආපසු ලංකාවට යෑමට මම බලා හිටියේ නොඉවසිල්ලෙන්. ඒ අවුරුදු හතරේ රට කොයිතරම් වෙනස් වෙලා ඇද්ද? ලංකාවේ ආන්ඩුව වෙනස්වුන බව ආරන්චි වුනා. ලංකා කන්ඩායම එංගලන්තේ ක්රිකට් ගැසූ බවත් දැන ගත්තා. නමුත් මගේ හිතට වැදගත් ඒ වගේ පොදු ප්රවුර්ති නෙවෙයි; අම්මා දැන් වයසට ගිහින්ද? ලෙඩ අමාරු එහෙම තියෙනවද? නංගී ලඟදී කසාදයක් බැඳගන්න සූදානමක් තියෙනවද? මල්ලී තවම යාළුවෝ එක්ක පිස්සු නටනවද? ගෙදරයි ඉඩමයි මොන තත්වෙද තියෙන්නේ? මේ වගේ වැදගත් ප්රශ්න වලට උත්තර මා ලඟ නෑ.

අම්මා මාව ඔස්ට්රේලියාවට එව්වේ ගෙදර වත්තට ඈතින් තිබුන පවුලේ ඉඩමක් විකුනලයි. ඉස්පිරිතාලේ හෙදියක් ලෙස රස්සාව කරන අම්මට මහන්සියට උචිත පඩියක් නොලැබෙන බව මම දන්නවා. නමුත් පවුලේ ඉඩකඩම් වලිනුත් ටිකක්වත් ආදායම් ලැබෙන නිසා අම්මට පුළුවන් වුනා දරුවෝ තුන්දෙනාට හොඳ අද්යාපනයක් ලබා දෙන්න. නංගී ප්රාථමික ගුරුවරියක් හැටියට පුහුණුව ලැබීමත් මල්ලී කාර්මික විද්යාලයට යෑමත් අම්මගෙ අද්යාපනික උත්සාහයේ ප්රතිපළයි. නමුත් මේවා පවුලේ ආර්ථික දියුණුවට දායක වෙන තත්වයකට තවම ඇවිත් නෑ.

පවුලේ අවශ්යතාවන් සපුරා ගැනීම වැඩිමලා වූ මගෙ යුතුකම හැටියට මම දැක්කා. ආපසු ලංකාවට යෑමෙන් පසු මේ කාර්යයන් භාර ගැනීමට මම ලෑස්තියි. අම්මගේ හිසේ ඇති බර මගේ හිසට ගන්නයි මම බලාපොරොත්තු වෙන්නේ. අම්මගෙ රැකියාව අඩුම ගණනේ සතියකට දවස් දෙක තුනකට සීමා කිරීම, නංගිගෙ රැකියා/විවාහ වගකීම් භාරගැනීම සහ මල්ලිට යම් විදිහක ආදර්ශයක් වීම මගේ වගකීම් ලයිස්තුවේ උඩින්ම තිබුනා. පවුලේ ඕනෑ එපාකම් සපුරා ගැනීමට ස්ථිර රැකියාවක් නැතුව බැරිබව මට වැටහෙනවා. මගේ භූවිද්යා උසස් උපාදියත් පිටරට පළපුරුද්දත් හොඳ රැකියාවක් ලැබීමට උදව් වේ යයි මට හිතුනා.

අනික් අතට අද දවසේ පවුලේ ඔනෑ එපාකම් මොනවද කියලාවත් මම හරියට දන්නෙ නෑ. මම පවුලේ තොරතුරු හොඳින් නොදත්තේ මගේම වැරැද්ද නිසා බව පිළිගන්නවා. මෙහෙ ආ අළුත මම මෙහෙ තොරතුරු දන්වලා ගෙදරට ලිපි කිහිපයක් යව්වා. නමුත් වැඩි කල් යන්න ඉස්සර ඒ කටයුත්ත කෙමෙන් අඩුවී අවුරුද්දකින් නැත්තටම නැතිවී ගියා. නැවතත් මම ගෙදරට ලිපියක් ලිව්වේ දැනට මාසයකට පෙර; මම ආපහු එන බව දන්වලා. නංගී ඉඳ හිට ලිපියක් එව්වත් මට දැනට වැදගත් පවුලේ තොරතුරු ඒවගෙ සඳහන් වෙලා තිබුනෙ නෑ. මේ ප්රශ්න කෙලින්ම ලියා යව්වා නම් සමහරවිට අවශය උත්තර ලබාගන්න තිබුනා. වෙන එකක් තියා ආ පසු ගමනෙදි සිංගප්පූරුවෙන් පවුලේ අයට මොනවා ගිහින් දෙන්නද කියලාවත් මම දන්නෙ නෑ.

සමහරවිට මම ඔස්ට්රේලියානු ජීවිතේට ඇබ්බැහිවුනා වැඩියි.

ඔස්ට්රේලියාවේ මගේ මිතුරෝ සියල්ලෝම වගේ ඔස්ට්රේලියානු ජාතිකයෝ. මෙයට එකම හේතුව මේ සරසවියේ ලාංකිකයෝ හිටියේ ඉතාම සුළු ගණනක් වීමයි. මා හැදෑරූ භූවිද්යා ක්ෂේත්රයේ එකම ලාංකිකයෙක් වත් මට හමුවුනේ නෑ, මුළු අවුරුදු හතරෙදීම. ලංකාවෙන් පැමිණි කෙල්ලෙකුයි කොල්ලෝ දෙන්නෙකුයි ඉඳ හිට හමුවුනත් ඔවුන් සමග මගෙ කිට්ටු සම්බන්ධයක් තිබුනෙ නෑ. ඔවුන් කොතරම් කාලකට ආපු අයද කියලාවත් මම දන්නෙ නෑ.

ඊයේ රෑ පැවැත්වුන මගේ ‘සමුගැනීමේ උත්සවය’ සඳහා කිසිම ලාංකික සහභාගිත්වයක් තිබුනෙ නෑ. එය සැකසුවේ මගේ මිත්ර පීටර් ඇතුළු භූවිද්යා කණ්ඩායමක් එකතුවෙලයි.

මේ ‘උත්සවය’ පැවැත්වුනේ පීටර් තව සිසුවෝ කිහිපදෙනෙක් සමග හවුලේ ජීවත්වුන ගෙදරක. කෑමෙන් බීමෙන් (විශේශයෙන්ම බීමෙන්) කිසිම අඩුපාඩුවක් නැති පාටිය අවසන්වුනේ පාන්දර තුනට පමණ, තෑගි ප්රධානයකින් පසුවයි.

ඉතා ගාම්භීර ලෙස, ගරුබුහුමන් සහිතව මට තෑග්ග ප්රධානකළේ මගේ ඉගෙනීම් අධ්යක්ෂකයයි. ඔහු කීවේ ඔස්ට්රේලියවේ ජීවත් වීමට අව්ශ්ය සියළු දේ මේ තෑග්ගේ අඩංගු බවයි. තෑගි පාර්සලය තුල තිබූ රබර් සෙරෙප්පු කුට්ටමත්, කොට කලිසමත්, අත් නැති බැනියමත් බීර බොන වීදුරුවත් එකින් එක එලියට ගෙන සභාවට පෙන්වූයේ ඔවුන්ගේ සිනා මැදයි. මගේ ස්තුති කතාව තෑගි පිරිනමන්නා තරම්ම ගාම්භීර ලෙස ඉදිරිපත් කළා. කුමක් කිවයුතුදැයි නොදත් නිසා මම කතාවේ දෙවෙනි කොටස සිංහලෙන් පැවැත්තුවා. “පාටියකදී පාන්දර තුනට මොන භාශාවත් එකයි” යන න්යාය සභාව සනාථ කළා.

මාව ආපසු සරසවි බිමේ මගේ නේවාසිකා ගාරයට ගෙනත් හැරීමට මත්පැන් නොබොන රියදුරෙක් සමග වාහනයකුත් පීටර් ලෑස්ති කර තිබුනා.

අවුරුදු හතරක් මගේ හොඳම යාළුවෝ හැටියට සිටි මේ කණ්ඩායම අතහැර යෑම දුකක්. නමුත් අද සවස, මේ රටේ මගේ අන්තිම සවස, පීටර් හමුවීමට යොදාගෙන තිබීම හිතට පොඩි සැනසීමක් වගේ දැනුනා.

……………………….

උදේ නමයට විතර වෙවුල වෙවුලා ඇවිත් නාන ගමන් මම දවසේ කළයුතු වැඩකටයුතු වට්ටෝරුව සිතා ගත්තා. වෙලාවේ හැටියට ලයිස්තුවේ උඩින්ම තිබුනේ ගතේ සුභ සිද්ධිය සඳහා උදේ ආහාරයට ඇඟට අල්ලන යමක් කෑමයි.

අපෙ නේවාසිකාගාරේ උදේ කෑම දහය එකොලහ වෙන තුරුත් ගත හැකියි. නමුත් මම කෑම ශාලාවට යන වෙලාවේ එතන හිටියේ දෙතුන් දෙනෙක් පමණයි. ඔවුන් නොහඳුනන නිසා මම කොනේ මේසයක තනියම වාඩිවෙලා, කෑම කන අතරේ මගේ හිතේ තිබුන ලයිස්තුව කොලේක ලියාගත්තා. ඇත්තම කිව්වොත් එතන කියවන්න වටිනා යමක් තිබුනෙ නෑ. නැවේ යවන බඩු දැනටමත් යවා තිබුන නිසා පොඩි මල්ලක් අඩුක් කිරීම විතරයි කරන්න හිබුනේ. ලංකාවේ අයට ගන්න තෑගි සිංගප්පූරුවේ ගන්න නිසා නැවත කඩ සාප්පු වලට යෑමට අවශ්ය තාවයක් තිබුනෙ නෑ.

ගමන් බලපත්ර සහ ගුවන් ටිකට්, මගදී පාවිච්චියට සල්ලි ටිකක්, ගමනේදී කියවන්න පොතක් දෙකක්, දත් බුරුසු/බේත් වැනි දේ අවසන් වරට සොයා බැලීම කාමරේට ආ වහාම සිදුවියයුතු දේ හැටියට මම දැක්කේ. ඉන් පස්සේ… හවස් වෙලා පීටර් හමුවෙනවා හැර වෙන කිසිම වැදගත් කටයුත්තක් නෑ.

“හලෝ…”

මට ඉස්සරහ පුටුවේ කොල්ලෙක් වාඩිවෙලා - මා සමග සතුටු සාමීචියේ යෙදෙන්න වගේ. ආචාරශීලී හැසිරීම මටත් පුරුදුයි.

“ගුඩ් මෝනින්!”

“මම ඊයේ මෙහාට ආවේ… ඇමෙරිකා එක්සත් ජනපදෙන්!”

කොල්ලගෙ ඉංගිරිසි උච්චාරණය සම්පූර්ණෙන්ම අමෙරිකානු.

“මම ශ්රී ලංකාවෙන්… හෙට ආපහු යනවා!”

මට හිනා ගියා එකෙක් යනකොට එකෙක් එනවා කියලා.

“… ශ්රී ලැන්කා තියෙන්නේ කොහෙද? මම දන්නෙ නෑ…”

මම දැනගෙන හිටියා අමෙරිකා එක්සත් ජනපදේ මිනිස්සු ලෝකේ අනික් රටවල් ගැන වැඩිය නොදන්න බව.

“ඒක තියෙන්නේ ඉන්දියාවට දකුනෙන්… ඉන්දියාව දන්නවද?”

“අපොයි ඔවු… ඉන්දියාවේ කට්ටියක් මට හම්බවෙලා තියෙනවා!”

එයා ඒක කිව්වේ ලෝකේ ගැන දැනගන්න ඕන සේරම දන්නවා වගේ. ඒ ක්රීඩාව මටත් පුළුවන්.

“ඒ කොහෙදිද?”

“ඔස්ටින්… ටෙක්සස් වල…”

“ඒක කොහෙද? මං අහලා නෑ”

කොල්ලට තේරෙන්න ඇති මම එයාගෙ නොදැනීම ගැන අනුම්පදයක් කිව්වේ කියලා. මට පවු කියලා හිතුනා. කොල්ලට ‘සුභ අනාගතයක්’ පතලා මම මේසෙන් නැගිටල කාමරේට ගියා.

ලැයිස්තුවේ හැටියට පළමු රාජකාරිය, ගමන් බලපත්ර, ටිකට් එහෙම පරීක්ෂා කිරීම, මම කාමරේට ආ වහාම පටන්ගත්තා. දවසේ පළමු භූමි කම්පාව ආවේ ඒ විටයි; මගේ ගමන් ලියකියවිලි කිසිවක් සොයාගන්න මට බැරිවුනා.

පළමුවෙන් උඩින් පල්ලෙනුත්, අන්තිමට මැනික් ගරන්නෙක් සේ පරෙස්ස්මෙනුත් මම ලියකියවිලි සෙව්වා. ලාච්චු ඇරලා ඒවා ඇතුලේ වගේම ලාච්චු පිටිපස්සෙත් බැලුවා. කාමරේ තිබුන සේරම මලු - කඩදාසි, ප්ලාස්ටික්,රෙදි - ඇදලා කණපිට දාලා ලියකියවිල් හෙව්වා. කමිස-කලිසම් සාක්කු ඇද ඇද කීප සැරයක් බැලුවා. කොට්ට මෙට්ට යට, කුණු බක්කි නැවත නැවත පරීක්ෂා කළා මේ කිසිම තැනක ගමන් ලියකියවිලි නෑ. කී සැරයක්, කාමරේ එක කොනක ඉඳන් අනික් කොනතෙක් සොය සොයා ගියත් ලියකිවිලි තියා ඒවා තිබුන කවරයක්වත් නෑ.

මම ඇඳ උඩ වාඩිවුනේ “හෙට ගෙදර යන්නේ කොහොමද?” යයි සිතමින්.

වහාම පොලිසියට කියනවද නැත්නම් වෙන කරන්න දෙයක් තියෙනවද?

මේක තනියම තීරණයක් ගන්න තරම් මගෙ මොලේ නිරවුල් නෑ. මට කවදාවත් මෙහෙම දෙයක් සිද්ධවෙලා නෑ. මට අයිති කිසිම දෙයක් කවුරුත් හොරකම් කරලා නෑ මීට ඉස්සර. එහෙම හොරකමක් සිද්ධවුනානම්, ඒ ඊයෙ රෑ මම කාමරේ නැති වෙලාවේ වෙන්න ඕන. මේ ගැන පීටර් සමග කතා කරන්න වටින බව මට හිතුනා. මා නැවට දැමූ බඩු අසුරන්නත්, ගුවන් ටිකට් මිලදී ගැනීමේදිත්, ඊයේ පාටියත් එහි යෑම ඒම වැනි සියළු දෙයට සහභාගිවුනේ පීටර්. සමහරවිට මිනිහා මට විහිළුවක් කරනවද දන්නෙත් නෑ - අද හවස හමුවෙන නිසා! ඉතාම තර්කානුකූල විසඳුම ඒක බව මට වැටහුනා.

මේ අවසාන සිතිවිල්ල නිසා මම පීටර්ගෙ ගෙදර යන්න පිටත්වුනේ හිටියාට වඩා සැහැල්ලු සිතකින්.

……………………….

මගේ නේවාසික ශාලාවට කිලෝමීටර් එක හමාරක් විතර දුරින් මැක්ක්වොරී වීදියේ පිහිටි පීටර්ලගෙ ගෙදරට මම ඇවිද්දේ මේ සරසවි භූමිය කොයි තරම් ලස්සනදැයි සිතමින්. සරසවිය අවසාන වශයෙන් දකින නිසාදෝ මම මීට පෙර සැලකිල්ලට භාජනය නොවූ ගස් වැල්, ගෙවල් දොරවල් මෙන්ම රථගාල් දිහාත් හොඳින් බලමිනුයි ඇවිද්දේ. වෙන එකක් තියා පීටර්ලගෙ පාරෙත් වෙනදා නොදුටු දේ අද දුටුවා. පීටර්ගෙ ගෙදර දොරට තට්ටු කරන වෙලාවෙයි මම දැක්කේ දොර නිල් පාට බව!

දොර ඇරියේ වයසක මිනිහෙක්.

“සමාවෙන්න මට… පීටර් ඉන්නවද? පීටර් ග්රීන්?”

“අ… එහෙම කෙනෙක් මෙහෙ නෑ…. සොරි!”

“… 93 නේද? ඊයේ රෑ පාටියක් තිබුන ගෙදර?”

“මේක 93 තමා, නමුත් මෙහෙ පාටියක් තිබුන දවසක් මතක නෑ!”

මට පිස්සු හැදීගෙන එනවද? මට හොඳට මතකයි මේ ගෙදර පිටි පස්සේ වාඩිවෙලා ඊයේ කාපු බීපු හැටි.

“අ… සමාවෙන්න අහනවට… මේ ගෙදර පිටිපස්සේ ලොකු අඹ ගහක් තියෙනවද?”

“තිබුනා… දැනට අවුරුදු දෙකකට විතර ඉස්සර ඒක කපලා දැම්මා… අ… වතුර එකක් ඕනද?”

මිනිහට බය හිතෙන්න ඇති මගෙ මුහුණ දැකලා. මට කලන්තේ වගේ දැනුන බව ඇත්ත තමා.

“නෑ… ස්තුතියි… සමාවෙන්න කරදර කළාට..”

මේ ගෙදරට ආ ගමනේ ඇස් පිනවුන මට්ටමටම ආපසු ගමනේ සිත වෙහෙසුනා.

මට හිතාගන්න පුළුවන් එකම පහදුවයි - ඊයේ මට මගෙ ‘යාළුවෝ’ මොනවා හරි මත්ද්රව්යක් දෙන්න ඇති. එහෙම යමක් මගේ ඇඟට වැටුනානම් ඒ පුදුම තරමට සැර මත් ද්රව්යක් වෙන්න ඕන. පීටර්ගෙ ගෙදර අමතක වෙන තරමට. මගෙ හිතට ආ තවත් දෙයක් නම් වෙනදා නොදුටු ගස් වැල්. ගෙවල් දොරවල් වැනි දේ අද දැකීම. මේ දෙකෙන් ඇත්ත අද දකින දේද, නැත්නම් මතකේ තියෙන ඊයේ දැකපු දේද? මේක අළුත්ම මත් ද්රව්යක් වෙන්න ඇති. නමුත් රෑ කෑමේ, බීමේ, දුම් බීමේ කිසිම වෙනසක් මට දැනුනෙ නෑ.

මම සිතිවිල්ලේ බිම බලාගෙන ශිෂ්ය සංගමයේ ගොඩනැගිල්ල දෙසට ගමන්කළේ පොලිසි ගමනට පෙර මගේ ගමන් ලියකියවිලි ගැන සරසවි ආරක්ෂණ නිලධාරිත් සංචාරක නියෝජිතයොත් සමග සාකච්චා කරගැනීමටයි. එතන ආපනශාලාව හරහා ඇවිදින අතරයි මට මගේ නම කියනවා ඇහුනේ, ගැහැණු කටහඬකින්.

“ලලිත්!”

මම හිස ඔසවා බැලුවම දැක්කේ තනියම එලිමහන් ආපනශාලා මේසයක් ලඟ වාඩිවී සිටි මා දන්න එකම ලාංකික කෙල්ල, නීලයි. එයා නිකට අත උඩ තබා ඈත ගස් දිහා බලාගෙන හිටියේ කතා කරන්න කෙනෙක් නැති සරණාගතයෙක් වගේ. නමුත් එයාගෙ වගේ නෙවෙයි මගෙ ප්රශ්න - එයා මත්ද්රව්ය වලින් මත් වෙලාවත් පිස්සු හැදිලාවත් නැතුව ඇති - මං වගේ නෙවෙයි! මම කෙලින්ම මගේ ප්රශ්නෙට ආවා.

“හලෝ නීලා… අලි කෙලිය නේ! මගෙ පාස්පෝට්, ටිකට් එහෙම සේරම නැතිවෙලා - හෙට ආපහු යන්න බලාගෙන හිටියේ!”

නීලගෙ ඇහෙන් කඳුලක් ගලාගෙන ඇවිත් මේසේ උඩට වැටුනා. මගේ කරදර මම පොඩ්ඩක් පිටිපස්සට තල්ලු කළා.

“මොකද නීලා? මොකද්ද අප්සෙට් එක?”

නීලා මා දිහා බලාගෙන හිටියේ ඇසිපිය නොහෙලා. ඒවාගෙන් දැඩි ශෝකයක් විහිදුනා. මට හිතුනේ නීලගෙ යාළු කොල්ලා, සනත්ට මොනවත් වෙලාද කියලා.

“කෝ සනත්?”

නීලා ඔලුව එහාට මෙහාට හොල්ලලා උත්තර දුන්නා.

“නෑ…”

“කොහෙවත් ගිහින්ද?”

ලොකු සුසුමක්, තවත් කඳුලක්.

“උදේ එයාගෙ කාමරේ හිටියේ වෙන මිනිහෙක්…”

නීලගෙ උරිස් සෙලවුනාට සද්දෙට ඉකි ගැහුවෙ නෑ.

“කවුද?”

“මිනිහා… මිනිහා කිව්වා එයා ඒ කාමරේ මාස ගානක් කියලා… මම දැකලාවත් නැති කෙනෙක්…”

ඒ සැරේ කඳුලුත් එක්ක පොඩි බැගෑපත් හිනාවක්. මේකත් හරියට පීටර්ගෙ ගෙදර වගේ!

“නීලා… මටත් ඒවගේ දෙයක් වෙලා ඉන්නේ. මම දැන් යාළුවෙකුගෙ ගෙදර ගියා එතන කවුද නාකි මිනිහෙක්. පීටර් ගැන අහලාවත් නෑ කිව්වා… නමුත් මම ඊයෙ රෑ ඒ ගෙදර පාටියකට ගිහින් අද් පාන්දර තුනට ආවේ!”

ඒ සැරේ නීලා ඇස් ලොකු කරගෙන මා දිහා බලාගෙන ඉන්නවා, හරියට ‘මට විතරක් නෙවෙයි පිස්සුව’ කියනවා වගේ.

“මම හෙට ලංකාවේ යන්න හිටියේ… ඒකයි දැන් පාස්පෝට් එහෙම නැතිවුන එක කියන්න පොලිසියට යන්නේ!”

නීලා හෙමින් ඔලුව එහාට මෙහාට හෙල්ලුවා.

“වැඩක් වෙන්නෙ නෑ!”

“හ්ම්…?”

“මමත් එහාට ගිහින් ආවේ!”

“පොලිසියට? ඔයාගෙත් පාස්පෝට් නැතිවුනාද?”

නීලා ආයෙත් අසිපිය නොහෙලා මා දිහා බලාගෙන හිටියා.

“ඊට වඩා විශාලයි…”

“මොකද්ද නැතිවුනේ?”

නීලා මගේ මුහුණෙන් ඇස් ඉවත් නොකර මේසේ යට තිබුන මල්ලෙන් ලොකු කඩදාසි කොලයක් එලියට ගත්තා. මේසේ මත ඒක දිග හැරියෙත් මා දිහාම බලාගෙන.

“මොකද්ද?”

දිග හැරි කඩදාසිය බිත්තියේ අලවන තරමේ විශාල සිතියමක්

“දැන් ගත්තේ පොත් සාපුවෙන්… බලන්නකෝ”

සිතියම ලස්සනයි. නමුත් මගෙ ඇස් ඇදී ගියේ ඉන්දියාවටයි. දකුණු ඉන්දියාවේ සිට ඇන්ටාර්ක්ටිකය දක්වා ඉන්දියානු සාගරය නිල් පාටට ඇදී ගියා. ඒකේ “පෙරදිග මුතුඇටයක්” තිබුනෙ නෑ