අඩිතාලම්
මම අන්තිම වරට අළුත් නවාතැනකට ගියේ බ්‍රිස්බන් නගරේ - මීට අවුරුදු හතරකට ඉස්සර. ඒ සැරේ මම ගියේ අළුත් ලෝකෙකට වුනත් කෑම බීම වගේ දේ ගැන හිතන්න අවශ්‍යතාවයක් තිබුනෙ නෑ - කෑම එතනින්ම ලැබුන නිසා. මගෙ අළුත් නුවර නවාතැන එහෙම නෙවෙයි; කෑම ලෑස්තියත් ගේ පිරිසිදුවට තබාගැනීමත් මටමයි අයිතිවුනේ.
මම සඳුදා නුවර ගියේ නංගිත් එක්ක.
බූවැලිකඩ මගෙ නවාතැන පිහිටා තිබුනේ බද්ධනිවාස විස්සක් විතර අයිති හෝටලයකට. අපි ඉස්සරවෙලාම ගියේ එදා ජයේ මට හඳුනලා දුන්න ගෙස්ට් හවුස් මැනේජර් හමුවෙන්න. මම එයාගෙන් මගෙ නිවසේ යතුර ඉල්ලා ගත්තා.
“මං එන්ට ඕනද මිස්ටර් මීගස්තැන්න?”
“නෑ නෑ… මම නංගිත් එක්ක ආවේ එයාට ෆ්ලැට් එකත් පෙන්නලා බඩු ටිකක් ගන්න උදවටත් එක්ක…”
“සර් කොල්ලෙක් එවන්ටද බඩු එහෙම උස්සන්ට?”
“නෑ… තැන්ක්යූ සුදත්… හැබැයි අපිට දවල්ට කෑම ටිකක් ගෙන්නගන්න පුළුවන් වෙයිද? අම්මත් ආවොත් තුන්දෙනෙක්…”
”සර් අපෙ රෙස්ටොරන්ට් එකේ කන්ට පුළුවන්… පිටින් ගේන්ටම ඕනනම් ගාමිනීට කිව්වොත් හරි”
“අයියා ආයෙ කාටවත් කරදර නොකර මෙතනින් කෑවොත් වැඩේ ඉවරයි… අම්මා එක වෙනකොට එයි…”
මගෙ අළුත් ෆ්ලැට් එක නංගිට හොඳට අල්ලලා ගියා, පිහිටීම වගේම ටවුමට කිට්ටුවීම නිසා.
“තව චුට්ටක් උඩින් තිබුනානම් වැවත් හොඳට පෙනෙයි!”
“එතකොට සෑහෙන්න උඩින් ගෙවන්නත් වෙයි!”
හොඳ වෙලාවට ෆ්ලැට් එකේ ඉවුම් පිහුම් වලට අවශ්‍ය බඩු වලින් අඩුවක් තිබුනෙ නෑ. නිදන කාමරෙත් එහෙමයි. කඩෙන් ගන්න අවශ්‍යම කෑම බීමත් නාන කාමරයට අඩු පාඩුත් ගන්න නංගී බොහොම උදව්ව් වුනා. අනික, නංගිත් එක්ක ‘ශොපිං’ යෑම මට සතුටක් ගෙනදුන්නා.
ටවුමෙන් තේ එකක් බොන වෙලාවේ තමා බඩු ගණන් ගැන නංගියි මායි කතාවුනේ. මිලටත් වැඩිය මගෙ හිතට කාවැදුනේ බඩු හිඟයයි. බ්‍රිස්බන් සුපර්මාකට් වලට පුරුදුවී සිටි මට වෙනස තදින්ම දැනුනා. නමුත් බඩු හිඟ මට අමුතු දෙයක් නෙවෙයි - රට යන්න ඉස්සර තත්තවය මට හොඳට මතකයි.
කඩේ බඩු අඩුවට වඩා මට වැදගත් මගෙ පවුලේ අය; මම ඇල්ලුවේ දිනන කන්ඩායම කියලා මට හිතුනා.
………………………..
පළමුවෙන්ම අනාගතය ගැන කතාකළේ නීලා - උසස් මට්ටමට මනෝ විද්‍යාව හදාරන්නෙකුගෙ අදහස් අපේ ප්‍රශ්න වලට කෙලින්ම අදාලයි කියලා මට හිතුනා.
“අපි දැන් වැටිලා ඉන්න වලෙන් ගොඩ එන්නේ කොහොමද කියලා තීරණ ගන්න ඉස්සර ඒ වල කොයි වගේ එකක්ද කියලා තේරුම් ගන්න උත්සාහ කරන්න ඔනෑ…”
නීලා ඉතා දක්ෂ ලෙස අපේ ප්රශ්නය පැහැදිළි කළා. පළමුවෙන්ම ඈ අපේ මූලික ප්රශ්නය පෙන්වා දුන්නා.
“ලංකාව යන නමෙන් රටක් මේ ලෝකේ නෑ - කවදාවත් තිබුනෙත් නෑ! මේ ඇත්ත පිළි නොගෙන අපිට අනාගතයක් දිහා බලන්න බෑ”
තදින් හුස්ම ගැනීමක් හා හෙමින් නැඟුන ඉකියක් හැර නීලාගේ වචනයට එහඟව හෝ විරුද්ධව යමක් කියවුනේ නෑ. නීලා ඊ ලඟට කතාව පටන්ගත්තේ හෙමින්; වචන පාවිච්චිකළේ ප්‍රවේසමෙන්.
“අපි ඉපදුනේ ලංකාවේ; අපිට ලංකාව හොඳට මතකයි; ලංකාව අපෙ ජීවිත වලින් වෙන්කරන්න බැරි කොටසක්… ඒ අනුව ලංකාව අපෙ කිට්ටුවන්තයෙක් කියලා හිතාගන්න පුළුවන්… දැන් හිතලා බලන්න අපේ කිට්ටුවන්තයෙක් අප අතරින් වෙන්වී ගිය අවස්ථාවක්. ඒ ගැන අපි දුක් වෙනවා. ඒ තැනැත්තගෙ ගතිගුන, හැඩවැඩ, හැසිරීම් වැනි දේ මතක් කරනවා… ඒ මතකයෙන් අපේ දුක අඩුකරගන්නවා… “
නීලා මා දිහා බැලුවා ආයෙත් කතා කරන්න ඉස්සර.
“…අපේ කිට්ටුවන්තයා ගැන කවුරුත් කියන්නේ නෑ ‘එහෙම කෙනෙක් හිටියෙ නෑ!’ කියලා. එයාගෙ ලියකියවිලි, පින්තූර, උප්පැන්න සහතික, පාස්පෝට්… එයත් එක්ක නැතිවෙලා යන්නෙ නෑ. එහෙම කෙනෙක් හිටිය බව ඔප්පු කරන්න ඕන තරම් සාක්ෂි තියෙනවා… මේවා අද ලංකාවට නැති දේ”
“ලංකාව ගැන කතා කරන්නවත් පුළුවන් අපි අතරේ විතරයි - වෙන අය දන්න තරමට ලංකාව කියලා රටක් නෑ. අපි මේ සමාජයේ ගෙවන ජීවිතේ හැඩගසා ගන්න ඕනෑ - ජීවිතේ ගෙවන්න ඉගෙනගන්න ඕනෑ - ලංකාව කියලා රටක් නැති විදිහට”
“මේක ලේසි වෙන්නෙ නෑ. ශරීරයෙන් බාගයක් අපිට අහිමිවුනා වගේ, අප් ජීවිතේ සම්පූර්ණ නෑ. ආයෙ සම්පූර්ණ කරන්නත් බෑ…. ඒ නිසා… ඒ නිසා ඉතාම වැදගත් අපි කීප දෙනාටයි, මීට පස්සේ හමුවෙන අනික් ලාංකිකයන්ටයි හැකි තරම් උදව් දෙන්න ලෑස්ති වෙලා ඉන්න ඕනෑ… මනෝ විද්‍යාව කියන විදිහට අපි ඉන්නේ මානසික අතින් භයානක තැනක… සුළු දෙයක් වුනත් අපේ සමතුලිතය විනාශ කරන්න පුළුවන්… ඒ නිසා… මම අවසාන වශයෙන් කියන්නේ… හිතට ගන්න දැන්මම ‘අපි ලාංකිකයෝ නෙවෙයි!’ කියලා”
ඒ සැරේ නිහඬ තාවය ටිකක් වෙලාවක් පැවතුනා. ඒ බිඳ දැම්මේ මීට පෙර යමක් නොකිව් රවී ආනන්දප්පා.
“තෑන්ක් යූ නීලා… අ… මට සයිකොලජි වගේ දේ තේරෙන්නෙ නෑ… මගෙ සිංහලවත් වැඩිය හොඳ නෑ - සොරි! නමුත් නීලා කියපු දේ මට ලොකු හෙල්ප් එකක්. ඇයි දන්නවද? මම මේ කරදරේ පටන්ගත්ත දවසේ ඉඳන් හිටියේ ලංකාව ආයෙත් එනවා කියලා බලාගෙන - දැට් වොස් මයි හෝප්… ඒක ගොං කමක් කියලා දැන් මට තේරෙනවා… අ… තැන්ක් යූ… සේරටම”
නීලාගේ ‘ලංකාවක් ආයෙ නෑ!’’ කීම අපි සේරටම ‘කණේ පාරක්’ දුන්නා; ඒ කම්පනය ඇත්ත ඇති හැටියට පෙන්නා දෙන්න හොඳම ක්‍රමය කියලා මට හිතුනා..
සභාවේ කීප දෙනෙක් එවර කතා කරන්න පෙළඹුනා. නීලාට ස්තුති කරනවා වගේම සභාව අනාගත තීරණ ගැන සිතන්න ලෑස්ති බව ඔවුන්ගේ වචන වලින් ප්‍රකාශ වුනා. සමහරවිට මේ අකරතැබ්බයෙන් මිදී ලංකාව නැති ලෝකයකට මුහුණපෑමේ පළමු පියවර ගන්නේ මෙතැනදී යයි මට හිතුනා. අපිට සුරාජ් මෙන්ඩිස් වගේ කෙනෙකුගෙන් බොහොම දේ ඉගෙනගන්න පුළුවන් ලාංකික නොවෙන්නෙක් හැටියට ජීවත් වෙන්න.
……………………………….
“ලොක්කා අද රෑ මෙහෙ නවතිනවද?”
“නෑ අම්මා… අපි කාලා බීලා ගෙදර යමු. මම හෙට මල්ලත් අරගෙන එනවා රෑ මෙහෙ ඉඳලා අනිද්දා උදේ වැඩට යන්න”
මගෙ නවාතැනට සම්බන්ධ ආපනශාලාවෙන් අපි තුන්දෙනා දවල්ට කෑවේ මගේ අළුත් රස්සාවටත් නවාතැනටත් සුභ පතන්නෝ වගේ. කෑම බීම රසවත්වුනා වගේම ආපනශාලාව නුවර වැව හොඳින් පෙනෙන තරම් ඉහලින් හිහිටා තිබුන නිසා අපේ ඇසුත් පිනවුනා. මගේ සතුටට තවත් හේතුවක්වුනේ අම්මටයි නංගිටයි මගේ වියදමෙන් කෑම වේලක් දීමට හැකිවීමයි.
“මල්ලිට කිව්වද රස්සාවයි ගෙදරයි ගැන?”
“තාම නෑ… අද හෙටම කියනවා. අර මොරටුවේ රස්සාව කරන තැන ටෙලිෆෝන් නොම්බරේ තියෙනවද?”
“ඔවු… අදම කිව්වොත් හොඳයි… ආයෙ චුට්ටට වෙන සහෝදරයෝ ඉන්න එකක්යෑ…”
මට ලොකු කනගාටුවක් ඇතිවුනේ මගේ රස්සාව ගැන මල්ලිට නොකීම ගැන නෙවෙයි; මල්ලී ගැන සම්පූර්ණෙන්ම අමතකවීම ගැනයි. අවුරුදු හතරක් නොදැක ඉඳලා ආපහු රටට ආපු වහාම පවුලේ කෙනෙක් අමතක කරේ ඇයි? මම හිතන්නේ මා ගැනම විතරයිද? අම්මටයි නංගිටයි කෑම වේලක් දීලා මගේ වගකීම් වලින් ගැලවෙන්න පුළුවන් කියලා මට හිතුනද?
මගේ දෙගිඩියාව නංගිට තේරුනා.
“අයියා මෙතනින්ම කෝල් එකක් ගන්ට මල්ලිට… එයාට ගානක් නැතිවෙයි රස්සාව ගැන කිව්වත් නැතත්. හැබැයි නුවර බයිස්කෝප් බලන්ට ආවොත් රෑ නිදාගන්න තැනක් නම් හොයාගෙන මෙහාට එයි!”
මට හිනා ගියේ මල්ලී ආවොත් බයිස්කෝප් බැලීමට වඩා බීර බීම න්‍යාය පත්‍රයේ උඩින් තියෙයි කියලා.
“මම කාලා ඉවරවෙලා කෝල් කරනවා”
අපි ආයෙත් කෑමට හිත යෙදුවා. මේ දිනවල ‘ගමේ කෑම’ වලට ප්රමුඛත්වයක් ලැබී තිබුන නිසාදෝ රතු බත්, බතල, ගොටුකොල සම්බල්, පරිප්පු වැනි කෑම මගෙ හිතටයි ගතටයි හොඳටම ඇල්ලුවා. මීට අවුරුදු අටකට ඉස්සර, 1969 මම තවම සරසවි ඉන්න කාලේ, අපි හෝටලේකින් කෑවේ මස් මාළු, ෆ්‍රයිඩ් රයිස්, වැනි දේ වලට ආශාවෙන්. දැන් මට ආශාව ගමේ එළවලු වලටමයි.
මම කෑමෙන් හිස් ඔසවා බැලුවේ අම්මයි නංගියි මගේ කෑම දිහා බලාගෙන ඉන්න බව දැනිලා.
“ඇයි? මම කනවා වැඩිද?”
අම්මා හිනාවුනා.
“මං හිතුවේ හෝටල් කෑම ලොක්කට හරියනවා වගේ කියලා… අපරාදේ නවාතැනේ කුස්සියක් තියෙන්නේ!”
ඒකට උත්තරයක් දෙන්න නොලැබුනේ වේටර් මේසේ ලඟට ආ නිසා.
“සර් සුදත් මහත්තයා කිව්වා සර්ට කෝල් එකක් තියෙනවා කියලා, කන්තෝරුවේ”
මම වේටර් පසුපස කන්තෝරු කාමරේ පැත්තට ගියේ නංගිගෙන් මල්ලිගෙ නොම්බරෙත් ඉල්ලාගෙන.
“හලෝ - ලලිත් මීගස්තැන්න”
“හායි මචං, මේ ජයේ. මං හිතුවා උඹ තවම හෝටලේ ඇති කියලා… උඹ අනිද්දා, බදාදා වැඩට එනවද?”
“ඔවු”
“උඹට සිකුරාදා කොළඹ යන්න පුළුවන්ද?”
“ඇයි?”
“මීටිමක්… මට වැඩ වගයක් යෙදිලා තියෙනවා. හැබැයි කොම්පැනිය වෙනුවෙන් කවුරුත් ගියොත් හොඳයි”
“කොළඹ ගමන ප්‍රශ්නයක් නෙවෙයි. හැබැයි මට ඩීටේල්ස් ඕනෑ… “
“ඩීටේල්ස් ඔක්කම බදාදා කතාකර ගමු … වැඩිපුරම තියෙන්නේ බුලර්ස් රෝඩ් උංගෙ හෙඩ් ඔෆ්ෆිස් ගිහින් උං කියනදේ අහගෙන ඉන්න එක. ප්‍රොජෙක්ට් බ්‍රීෆින් එකක්…”
“ඉරිගේශන්?”
“ඔවු”
“රයිට් - නෝ ප්‍රොබ්ලෙම්”
“එහෙනං බදාදා කතා කරමු”
මම ආපහු එනකොට මේසේ අස් කරලා, නංගී අයිස්ක්‍රීම් කනවා.
“කතා කරේ මගෙ බොස් - මම සිකුරාදා කොළඹ යනවා. චුට්ටිටත් කතා කරා, මොරටුවේ හම්බ වෙන්න”
……………………………..
මම බලාපොරොත්තු වුන විදිහට සුරාජ් කතා කරන්න පටන්ගත්තා.
“අපි ඔක්කොම නීලට ස්තුති කරන්න ඕනෑ අපි දැනට ඉන්න තැන හරියටම ලකුණු කරාට. ලංකාවක් නෑ; කවදාවත් තිබුනෙත් නෑ; අපෙ මතකේ විතරයි ලංකාව තියෙන්නේ. මෙතනින් පටන්ගෙන තමා අපි අනාගත ජීවිත ගොඩ නගන්න වෙන්නේ… සමහරවිට මගෙ අත්දැකීම් මේකට උදව්වක් වෙන්න පුළුවන්”
සුරාජ් මෙන්ඩිස් එයා “පෘතුගීසි කාරයෙක්” වුන හැටි කතාව නැවතත් කිව්වා. නීලයි මමයි මේක ඉස්සර අහලා තිබුනත් අපි සාවදානයෙන් අහගෙන හිටියා.
“ලංකාව සමග වැඩි සම්බන්ධයක් නොතිබුන නිසා පෘතුගීසි බොරුව ගෙනියන්න මට වැඩිය අමාරුවුනේ නෑ. මම සිඩ්නි නගරේ ඒ දවස්වල හිටපු ලාංකිකයොත් ආශ්‍රය කරෙත් නෑ. අනික, ඉන්ජිනේරුවෙක් නිසා රස්සාවක් සොයාගන්න අමාරුවුනේ නෑ. 1956 මම ආපු කාලේ නීතිරීති දැන් තරම් තද නෑ. වෙන එකක් තියා ඔස්ට්‍රේලියානු සිටිසන්ශිප් ගන්නත් පුළුවන් වුනා… දැන් ඒවා ඒ තරම් ලේසි නෑ….”
කවුරුත් මොකුත් කිව්වෙ නෑ තත්පර කීපයක් යනතුරු. සුරාජම ආයෙත් කතාව පටන්ගත්තා.
“ලේසි නෑ කියලා නොකර ඉන්න බෑ! ඒක හොඳින්ම හිතට ගන්න ඕනෑ. අර රවී කිව්වා වගේ ආයෙත් ලංකාවක් එයි කියලා බලාගෙන ඉන්න බෑ. අපි ඉන්නේ ඔස්ට්‍රේලියාවේ; වෙන රටකට යන්න ඕනවුනත් පාස්පෝට් එකක් නැතුව බෑ. මම එහෙම කිව්වේ මේකයි. අපි හිතමු ලලිත් කැමතියි කියලා සිංගප්පූරුවට, එහෙ පදිංචි වෙන්නත් කැමතියි කියලා. නමුත් පාස්පෝට් නැතුව ඔස්ට්‍රේලියාවෙන් පිටට යන්න බෑ. ඒ කියන්නේ අපිට ඔස්ට්‍රේලියානු ජාතිකයෝ වෙනවා අරුනුකොට වෙන ඔප්ශන් නෑ!”
ආයෙත් පොඩි නිහඬතාවයක්.
“අපිට කවදා හරි හොඳ අනාගතයක් ඕන නම්, ඒ කියන්නේ හොඳ රස්සාවක්, කසාදයක්, දරුවෝ, ගෙදරක් දොරක්… අපිට තියෙන එකම මාර්ගය ඔස්ට්‍රේලියානු පුරවැසියෙක් හැටියට. ඒකයි මට හිතෙන්නේ. ඒ ගැන හිතලා බැලුවොත් හොඳයි… මං කතා කරා දැන් ඇති! අපි එක් එක්කෙනාගෙ අවශ්‍යතාවයන් වෙනස්. ඒ නිසා අනාගතයක් ගොඩනගාගන්න පාරවල් වෙනස්. එ ගැන හිතලා බලන්න. එකක්, අපි හදිස්සි වෙන්න ඕන නෑ; අපිට කල් තියෙනවා හරියට ප්ලෑන් කරලා වැඩ කරන්න”
“අන්තිමට මම කියන්නේ මේකයි… අපි ආයෙත් එන සතියේ මේ වෙලාවටම කතා කරමු. අනාගතේ ගැන පොඩ්ඩක් හිතන්න සතියක් තියෙනවා. නමුත් මේ කොන්ෆරන්ස් එක ඉවරවුන වහාම මම එක එක්කෙනාට වෙන වෙනම කතා කරනවා කාටවත් හදිසි ඕනෑ එපාකම් ගැන… මම සල්ලි කාරයෙක් නෙවෙයි… නමුත් මම හොඳටම දුප්පත් නෑ. මගෙ පරණ රටේ මතකෙට කෙනෙකුට උදව් කිරීම මගෙ යුතුකමක් කියලා මට හිතෙන්නේ”