20_නත්තල්

බ්රිස්බන් නගරේ නත්තල් වලට ලෑස්තියි. නගර ශාලාව ඉස්සරහ විශාල නත්තල් ගහක් ජයට සරසලා. පාසැල් නිවාඩු වගේම නත්තල් ‘ශොපිං’ නිසා වීදි වල සෙනග පිරිලා. කඩ සාප්පු වල ‘නත්තල් සේල්’ තියෙනවා වගේම නත්තලට සරසලා, ලයිට් එල්ලලා. වටේටම ඇහෙන්නේ නත්තල් ගීත. බොහෝ කඩ සාප්පු සේවකයොත් රතුයි සුදුයි ‘නත්තල් පප්පා’ තොප්පි දාගෙන. නගරේ තැනින් තැන නත්තල් ඇඳුම් ඇඳගත් කන්ඩායම් භක්ති ගීත ගායනා කරනවා හරිම ලස්සනයි. මුළු නගරෙම නත්තලට ලෑස්තියි වගේ.

අපෙ අන්තිම ලංකා කවයේදී නත්තල් සුභපැතුම් හුවමාරුවුනේ වෙන කරදර කිසිවක් නැති අය වගේ. නමුත් සුරාජ් අපිට මතක් කළා අපේ විපත - ‘නත්තලට කොයි තරම් ජොලියේ හිටියත් අපි අමතක කරන්න හොඳ නෑ අපෙ කරදරේ’.

බෞද්ධයෝ හැටියට නීලයි මලිකුයි මමයි නත්තල් සැනකෙලි වලට වැඩිය ලෑස්තිවුනේ නෑ. මලික් මගේ කෑම කාමරේ පොඩි නත්තල් ගහක් සැරසුවේ තේ වතුවල වැඩ කළ කාලේ පුරුද්දට. නත්තල් සතියේ හවසට වයින්/බීර ස්වල්පයක් පාවිච්චිය හැර අපි තුන්දෙනාට නත්තල් උත්සව තිබුනෙ නෑ. ඔස්ට්රේලියාවෙත් නත්තල පවුලේ අයට සීමාවුන උත්සවයක්. ගෙදරක නත්තලට පිට අය සම්බන්ධ වෙන්නේ ඉතා කලාතුරකින්.

පවුල් නැති අපි තුන්දෙනා වැඩි නත්තල් සැනකෙලි බලාපොරොත්තුවුනේ නෑ. නමුත් නත්තල් දවසේ දවල් කෑමට මයිකල් අපි තුන්දෙනාට ආරාධනා කළේ දවස් කිහිපයකට ඉස්සර. නීලා විතරයි ඒකට පොඩි අවිනිශ්චිත බවක් පෙන්නුවේ. එයාගෙ දැන්වීමට ලැබුන පිළිතුරු කිහිපයක් අපිත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තුවෙනුයි නීලා හිටියේ. නමුත් මට පුළුවන්වුනා මයිකල්ගෙ වචනම පාවිච්චි කරලා නීලා ආරාධනය පිළිගන්න කැමති කරගන්න.

“කිරිබති වලින් ආ වෙන කවුරුත් නැති අපිට බ්රිස්බන්වල ලාංකිකයන්ට වැඩිය පවුලක් කොහෙන් සොයන්නද?”

මම බ්රිස්බන් නගරේ පවුලක් එක්ක නත්තල් සමරන පළමු අවුරුද්ද මේ. මීට ඉස්සර මම කළේ නත්තලට මා වගේම බ්රිස්බන් වල තනිවී ඉන්න තව සිසුවෝ කීපදෙනෙක් එක්ක පොඩි පාටියක් තිබීමයි. කෑම බීම හැර නත්තල් තෑගි භෝග වැනි දේ ගැන අපි කරදරවුනේ නෑ. අද එහෙම නෙවෙයි; මයිකල්ගෙ පවුලට තෑගි දෙන්න ඕනෑ නත්තල් දිවා ආහාරෙට ලැබුන ආරාධනය නිසා.

නත්තල් තෑගි දීම සැලකිල්ලෙන් කළයුතු දෙයක් බව මම දැන සිටියා. ඕනෑවට වඩා මිල අධික හෝ මිල අඩු භාන්ඩ තෑගි වලට නොසුදුසුයි. මම මේ ප්රශ්නය විසඳා ගත්තේ මයිකල්ට විස්කිත් කෙලේලට වයින් බෝතල්කුත් කියොකිට පොඩි රගර් බෝලෙකුත් මිලදී ගැනීමෙන්. මගේ තෑගි දැකලා නීලයි මලිකුයි හවුලේ තෑගි දෙන්න තීරණය කළා. එයින් මට තේරුණේ සමහරවිට මලික් නීලත් එක්ක අනාගතය ගැන සාකච්ඡා කරලා සතුටුදායක පිළිතුරක් ලැබිලා ඇති කියලා.

ලැබුන ආරාධනේ අනුව අපි හරියට දවල් එකොලහට මයිකල්ලගෙ ගෙදරට ගොඩවැදුනේ වටේටම ‘මෙරි ක්රිස්මස්’ කියමින්.

මයිකල්ලා ගෙදර ඉස්තෝප්පුව ජයට සරසලා තිබුනා. සර්ව පිත්තල පටි වලිනුත් දිලිසෙන වීදුරු බෝල වලිනුත් කුඩා නත්තල් ගසත් ඒ වටේටත් බැබලුනා. අපි වාඩිවෙන්න ඉස්සර නත්තල් ගහ යට තිබුන තෑගි බෝග අතරට අපි ගෙනා තෑගිත් එකතු කරා. කෙලේලා කෑම බීම සහිත බන්දේසියක් පොඩි මේසයක් උඩ තියලා, අපිට බීම බෙදා දුන්නා. හැමෝම අතේ බීම වීදුරුවක් ඇති බව දුටු වහාම මයිකල් අපිට නත්තල් උත්සවයට ආරාධනා කරා.

“අපි අපිට හැකි විදිහට පවත්වන මේ නත්තල් උත්සවයට මම ඔබලාට ආරාධනය කරන්නේ අමුත්තෝ හැටියටවත් මිතුරෝ හැටියටවත් නෙවෙයි - අපේ පවුලේ අය හැටියට. වෙල්කම්! මම දන්නවා ඔය තුන්දෙනා ක්රිස්තියානි නොවෙන බව - මට ලලිත් කිව්වා. නමුත්… අපි විශ්වාස කරන්නේ මොකවුනත් පවුලේ අය හැටියට අපි සේරම එකයි”

මා පුදුම කරමින් මලික් පිළිතුරු කතාවක් කරා.

“තැන්ක්යූ මයිකල්, කෙලේලා, කියොකි! මම මේ කතා කරන්නේ බ්රිස්බන් වල අඩුම කාලයක් හිටපු මිනිහා හැටියට. අපෙ තිබුන රට වල් නැතිවුනත්, හිටපු පවුල් නැතිවුනත් මට හමුවෙලා තියෙන බ්රිස්බන් පවුල මට වැදගත්… ඒ පවුලේ සේරම දැන් මෙතන… මම මේ සියල්ලන්ටම කියන්නේ අපි අපේ පවුල ආරක්ෂා කරමු. එකිනෙකාගේ ඕනෑ එපාකම් අනුව හැකි උදව්වක් දීලා… සොරි… මම ටිකක් ඉමෝශනල්… දැන් මට දැනෙනවා පවුලක වටිනාකම… අන්තිමට මට කියන්න තියෙන්නේ… නීලයි ලලිතුයි වෙනුවෙනුත්, තැන්ක්යූ අපිට ඉන්වයිට් කරාට… අ… කියෝකි කෑ ගහන්න ඉස්සර පොඩ්ඩට නත්තල් තෑගි දුන්නොත් නරකද?”

මලික්ගෙ කතාවෙන් පස්සේ ආයෙ කතා පවත්වන්න අවශ්යතාවයක් කවුරුත් දැක්කෙ නෑ. කෙලේලගෙ බැදපු මාලු කෑලිත් සමග සීතල බීර ඒ උෂ්ණත්වය අංශක 32 නත්තල් දවසට හොදින් ගැලපුනා. අපි ලංකාවෙත් කිරිබතියෙත් නත්තල් සංසන්දනය කළේ නැතිවී ගිය අපේ උපන් බිම් ගැන් සිතමින්. මටත් නීලටත් වැඩිය ලංකා නත්තල් චාරිත්ර ගැන මලික් දැන සිටියා. ඒ නිසා කතාව වැඩියෙන්ම මලික්ට බාර දෙන්න මම කැමතිවුනා.

ලැබුනු නත්තල් තෑගි අපි පිලිගත්තේ ඉතා ස්තුතිවන්තව. මට ලැබුන විස්කි බෝතලේ මම අගයකලේ එහි වටිනා කමටත් වැඩිය එය මට ජීවිතයේ ලැබුනු පළමු නත්තල් තෑග්ග නිසයි. මම ඒ බව මයිකල්ටත් කෙලේලටත් ලීවේ ඇස් වල කඳුලු පුරවාගෙන. ඒ වෙලාවේ දවල් කෑමට ආරාධනය ලැබීම නිසා මගේ කඳුලු සඟවාගන්න අමාරු වුනේ නෑ.

කෑම මේසේ තිබුන දේ පෙනුමෙන් ලංකාවේ කැමට වඩා වෙනසක් නෑ; බත්, බැදපු මාළු, එළවලු කරියක් එක්ක බතල ‘මෑෂ්’; හරිම සරලයි. එයින් මගේ හිතට හොඳටම අල්ලලා ගියේ පොල් කිරෙන් පිසූ එළවලුවයි.

“මොනවද මේ කෙලේලා?”

“කිරිබති වල නිතරම කන දෙයක් - පලුසමි කියලා අපි කියන්නේ. ටාරෝ කොල පොල් කිරිත් එක්ක උයලා”

“නියමයි … අපෙ ගමේ මේවට කියන්නෙ අලකොල කියලා. මං හිතුවේ ලෝකේ වෙන කවුරුවත් ඒවා කන්නෙ නෑ කියලා! කොහෙන්ද කොල හොයා ගත්තේ?”

“මයිකල් ඇවිදලා ඇවිදලා අර පොඩි ඇලක් ගඟට වැටෙන තැන වැවිලා තිබුනා කියලා කඩාගෙන ආවේ”

“මං හිතුවේ අපෙ රටේ මොකවත් නොදුන්නොත් වැඩක් නෑ කියලා - මේ ටාරෝ මම දැක්කේ වැඩ ඉවරවෙලා ගඟ අයිනේ ඇවිදගෙන එනකොට - රස්සාව පටන් ගත්ත දවස්වල - ලලිත් හොයලා දීපු රස්සාව!”

“මගෙනුත් හොඳක් වුනා එහෙනම්! තැන්ක්යූ - අපිට ආරාධනා කරාටත් මෙ තරම් මහන්සි වෙලා කෑම ලෑස්ති කරාටත්…”

අපි කෑම වෙලාවේ වැඩි බරපතළ දෙයක් කතා නොකරේ වචනයට නොහැරවූ පොදු එකඟත්වයකින් වගේ. අපේ එදිනෙදා ජීවිතයනුත් මෙරට තොරතුරුත් සාකච්ඡාවට ලක්කළේ අපෙ හිතේ තිබුන ලොකුම මාතෘකාව මතක් නොකරයි. ඒ සම්මතිය බිඳවැටුනේ කෑමේ අවසානේ මගේම වචනයකින්.

“එන අවුරුද්දේ නත්තල් ලන්ච් අපේ ගෙදර හොඳද?... සොරි… සොරි… ඊට ඉස්සර අපේ කරදරේ ඉවරවෙයි කියලා තමා මගෙ බලාපොරොත්තුව. මට සමාවෙන්න මගෙ ගොං කතාවට!”

…………………………….

“හලෝ අයියා?”

“හේ… හලෝ නංගී… ටවුමට ආවද?”

“නෑ…”

“… මොකවත් හදිස්සියක්ද? කොහෙ ඉඳන්ද කතා කරන්නේ?”

“ගෙදර! අද ටෙලිෆෝන් හයි කරා - ඒකයි කතා කරේ!”

“ෂා… නියමයි! මල්ලිටයි තැන්ක්යූ කියන්න ඕනෑ - මිනිහා තමා මුළු එකම සෙට් කරේ”

“මල්ලී සිකුරාදා එනවා. අයියා එන්නේ කවද්ද? නත්තලට දවස් කීයක් නිවාඩුද?”

“අපි කඩේ වහනවා නිවාඩුවට - ජනවාරි දෙවෙනිදා ආයෙ අරින්නේ. මල්ලිත් විසිතුන සිකුරාදා රෑ මාත් එක්ක නවතියි. ඒ කියන්නේ අපි දෙන්නම සෙනසුරාදා ගෙදර… මොනවද ටවුමෙන් ගෙනත් ඕනෑ?”

මට හරිම සතුටුයි ගෙදරට ටෙලිෆෝන් ආපු එක. ඕනම හදිස්සියකට අම්මටයි නංගිටයි පුළුවන් මල්ලිට හරි මට හරි කතා කරන්න. ගෙදරට අවශ්ය ඉතුරු වැඩ ටිකත් පටන්ගන්න දැන් හොඳ කාලේ කියලා මට හිතුනා.

නංගිත් එක්ක කතා කරලා ඉවර වෙනවත් එක්කම ලොක්කා මගෙ මේසේ ලඟට ආවා.

“මචං මං හිතුවේ උඹ ගිහින් කියලා. විනාඩියක් තියෙනවද මම ගිය මීටිම ගැන අහන්න?”

“ශුවර්”

“ලක්මිනි එක්කත් කතා කරා මීටිම ගැන. එයා තමා කිව්වේ උඹත් එක්කත් කතා කරොත් හොඳයි කියලා… මියුනිසිපැලිටි එකේ වැඩක්… අමාරු නෑ, වැඩි කාලයක් යන්නෙත් නෑ, කොන්ට්රැක්ට් එකේ වටිනා කමත් නරක නෑ… නමුත් මං හිතාගෙන ඉන්නේ ඒකට බෑ කියන්න… වට් ඩූ යූ සේ?”

“දැට්ස් යුවර් ජොබ්! ඩිරෙක්ටර්ලා හැටියට ඔය දෙන්නා තමා තීරණේ ගන්න ඕන… මේ ජොබ් එක නොගෙන ඉන්න ජයේට හේතුවක් තියෙනවා - නැතුව කෙටි, ලේසි, වටිනා ප්රොජෙක්ට් එකක් අතාරින්නෙ නෑ… හරිද?”

ජයේ හිනාවුනා.

“උඹට තේරෙණ ජාතියේ හේතුවක් නෙවෙයි! මං කියන්නේ, ටෙක්නිකල් හේතුවක් නෙවෙයි”

“හ්ම්…?”

ජයේ ආයෙත් හිනාවුනා - ඒ සැරේ ලැජ්ජාවෙන් වගේ.

“අපිට වැඩ කරන්න වෙන්නේ මගෙ නෑදෑයෙක් එක්ක… දේශපාලනෙත් කරලා පැරදුන අමු හොරෙක්! හැබැයි වැඩේ බාර ගත්තොත් මිනිහා කියන විදිහට නටන්න වෙනවා - ඒකා මගෙ මාමා කෙනෙක් නිසා. ඒක කරන්න මට බෑ බං; කොම්පැනිය ඒකට ගාවගන්නත් බෑ…”

“ඔය තියෙන්නේ වැඩේ බාර නොගන්න නියම හේතු! ඉතින් මගෙ ඉන්පුට් මොකටද?”

ඒ සැරේ ජයේ හිනාවුනේ නෑ. හැබැයි මා දිහා බලාගෙන හිටියා විනාඩියක්.

“වැඩේ උඹට බාර දීලා කරගන්න උන් බලාපොරොත්තු වුනේ”

“මං? මං මොන බම්බුවක් කරලද? මා ගැන මෙහෙ කවුරුත් දන්නෙවත් නෑ! කවුද ඔය පොර?”

“උඹ කලබල වෙන්න එපා - උඹට මේ ටිකත් කිව්වේ කවුරුත් මේ ගැන ඇහුවොත් කියන්නේ මොකද්ද කියලා ප්ලෑන් කරන්න. උඹ ගැන දන්නේ? උඹෙ පරණ යාළුවෝ දන්නවා උඹෙ එක්ස්පටීස් ගැන - ඒ යාළුවන්ගෙ යාළුවෝ, නෑදෑයෝ එහෙම ඉන්නවා සල්ලි හම්බකරන්න බලාගෙන… වැඩි කල් යන්නෙ නෑ රටට එන අළුත් එක්ස්පටීස්, ඉක්විප්මන්ට්, සල්ලි එහෙම ගැන ඒ වගේ උන්ට ආරංචි වෙන්න. උන් එව්වා මොනිටර් කරනවා!”

මට මේවා විශ්වාස කරන්නත් අමාරුයි. මම කටුනායකින් බැහැලා ගලගෙදර ආවට පස්සේ පවුලේ අයට පිටින් කී දෙනාටද කතා කරලා තියෙන්නේ? ජයේගෙ කොම්පැනියේ රස්සාව මම බාරගත්තේ ඒක මගේ අවශ්යතාවයන්ට ගැලපුන නිසා. ජයේ මාව කොම්පැනියට ගත්තේ කොම්පැනියේ අවශ්යතාවයක් පුරව ගන්න. මගෙ ක්ෂේත්රයේ වැඩ කරන පරණ යාළුවන්ගෙන් එකෙක් දෙන්නෙක් එක්ක කතා කරාට අපි රැකියා ගැන කතා කරේ නෑ.

සමහරවිට මල්ලිත් එක්ක කතා කරොත් මේවා තේරුම් ගන්න ලේසි වෙයි.

“මගෙන් කවුරුත් ඇහුවොත් මම කියන්නේ එකම දෙයයි - කොම්පැනියට දැනටම පැටවිලා තියෙන බර දන්නේ ඩිරෙක්ටර්ලා විතරයි - මම ඒවා ගැන කිසි දෙයක් දන්නෙ නෑ!”

“සමහරවිට ඒ ඇතිවෙයි. කවුරුත් තව තව ප්රශ්න ඇහුවොත් ඒ ගැන මට කතා කරන්න කියපං… දැන් අපි වැඩ නවත්තලා තේ බොමුද?”

ජයේගෙ හිනාවෙන් මට වැටහුනා ඒ ප්රශ්නේ ගැන මට ආයෙත් හිතන්න අවශ්ය නෑ කියලා.

මම 23 රෑ මල්ලිත් එක්ක බීර කීපයක්ම බිව්වේ කවුරු මොනවා කිව්වත් අනික් අය මගේ හැකියාවන් අගය කිරීම ආඩම්බරයට කාරණයක් නිසා. ඒ එක්කම එයින් ඔළුව ඉදිමවා නොගන්න මම අධිෂ්ඨාන කර ගත්තා.

“මොනවද අපි හෙට ගෙදර අරගෙන යන්නේ?”

“මං හිතුවේ බල මාළු ටිකක් ගන්ට - අම්මා කැමතියි ඒවට. ආයෙ කේක් එකක් ගන්නවා, නත්තලුත් හින්ඳා. වෙන… ලිඳ ලඟ බොන්ට විස්කි?”

අපි දෙන්නටම හිනා ගියා.

“අරක්කු හොඳටම ඇති. ආයෙ මං හිතුවේ නංගිට කියවන්ට පොතක් දෙකක් ගන්නවා කියලා”

“ඒක හොඳයි”

ඇත්තටම ඒක හොඳ අදහසක් බව මට තේරුනේ ගෙදර ගියහමයි. නංගී හරිම සතුටුවුනා පොත් ගැන.

“කාලෙකින් පොතක් ගන්ට බැරිවුනා! මං මේ දෙකෙන් එකක් ගැන අහලා තියෙනවා - අයියා කොහොමද දන්නේ කොයි පොත්ද ගන්නේ කියලා?”

“කඩේ මිනිහා කිව්වා මේවා ජනප්රියයි කියලා”

අපි හතර දෙනා 24 සෙනසුරාදා කෑම මෙසේ වටේ වාඩිවෙලා රෑ වෙනතුරු කයිවාරුව. පිට රටදී ගමේ ගෙදර ජීවිතේ ගැන වඩාම සිහියට නැගුන දෙයක් තමා පවුලේ කයිවාරු. මාතෘකාව වැදගත් වුනත් නැතත් කතාව ප්රීතිමත්. විහිළු, පරණ කතා, අලුත් ආරංචි, සිද්ධවුන අකරතැබ්බ, ජීවිතේ එදිනෙදා දිනුම්/පැරදුම් අපේ කතා වලට එක්වුනා. කෑම සරල වුනත් රසයෙන් අඩුවක් නැති බවයි මට මතක.

“ලොක්කා එහෙ නත්තල මෙහාට වඩා වෙනස් ඇති නේද?”

“ඔවු අම්මා… හැබැයි මං හිතන්නේ ජාඇල මොරටුව පැත්තේ නත්තල් වලට වඩා වෙනස් නෑ…”

“අයියලා මොකද කරේ නත්තලට?”

“නත්තල් කියන්නේ පවුලේ උත්සවයක් නංගී - ඒවට පිට අය වැඩිය සම්බන්ධ කරගන්නෙ නෑ. මම කවදාවත් කාගෙවත් ගෙදර ගිහින් නෑ නත්තලට. තවත් කීපදෙනෙක්, ඒ කියන්නේ කිට්ටුව පවුල් නැති කීපදෙනෙක්, එක්ක අපි පාටියක් දැම්මා”

“හැබැයි පාටි ඇරුනහම හරියට පල්ලි එහෙම පිරෙනවා ඇති - මෙහෙ වෙසක් එකට මාලිගාවේ යනවා වගේ…”

“සමහරු පල්ලි යනවා… වැඩිපුරම කතෝලික අය. 24 රෑ දොලහටත් යනවා ‘මිඩ්නයිට් මාස්’ කියලා. නමුත් හුඟක් අය නිවාඩුවට කොහෙ හරි යනවා - ආගමට වැඩිය ජොලියි ගැන හිතලා වගේ!”

“එහෙනං අපෙ එවුන් වගේම ඇති - සිංහල අවුරුද්දට ඉස්සර අරක්කු ගන්නවා වගේ, පුන්යකාලෙටත් බොන්ට!”

අම්මගෙ කතාවට වඩාම හිනාවුනේ මල්ලියි මමයි - ලිඳ ලඟ බීපු අරක්කු විදුර මතක් කරලා. මට හොඳටම විශ්වාසයි අම්මයි නංගියි දෙන්නම අපෙ හොරෙන් බීම ගැන දන්නවා කියලා. නමුත් ගැන කිසිම දෙයක් කියන්නෙ නෑ - ඒකයි හැදිච්චිකම කියන්නේ.

මට දැන් තේරෙණවා පවුලේ අය නැති පාළුව පිට රටදී තදේටම දැනුනේ ඇයි කියලා.