ඉදිරියට

1978 ජනවාරිය අපෙ පවුලේ අයට ඉතා වැදගත් මාසයක්.

ජනවාරි දෙවෙනි සඳුදා නංගී පිලැස්ස මහා විද්යාලේ ගුරුවරියක් හැටියට වැඩ බාරගත්තා. ඊට සති දෙකකට පස්සේ මල්ලී ඉගෙන ගන්න කාලේ අර්ධ කාලීනව කරපු මොරටුවේ රස්සාව පූර්ණ කාලීන වුනේ විභාග ප්රතිඵල ලැබෙන්නත් ඉස්සර. අම්මගෙයි මගෙයි රස්සා වෙනස් නොවුනත් 15 වෙනි ඉරිදා ගෙදර ප්රතිසංස්කරණ වැඩ පටන් ගත්තා. අපි හතරදෙනාම හිටපු 14 රෑ අපේ ගෙදර ආයෙත් මගුල් ගෙදරක් වගේ!

“දෙයියන්ගෙ පිහිටෙන් මේ අවුරුද්ද නම් අපිට හොඳයි වගේ නේද ලොක්කා?”

අපි හතරදෙනාම ඉස්සර ඉස්තෝප්පුවේ, හවස තේ බොනවා. ඉස්තෝප්පුවේ එක කොනක සිමෙන්ති කොට්ටත් බාස්ලගෙ ආම්පන්නත් නිසා අපි වාඩිවුනේ අනික් කොනේ. මිදුල අයිනේ ගොඩගැහුනු වැලි ගඩොල්වලින් ඉඩකඩ ඇහුරුනත් අපිට දැනුනේ ලොකු සතුටක් මිස අඩුපාඩුවක් නෙවෙයි.

“කාගෙ පිහිටෙන් වුනත් වැඩ ටික නම් හරියට පෙල ගැහෙනවා තමා! නංගිගෙයි මල්ලිගෙයි රස්සා - ගෙදර වැඩ… මේක ලොතැරැයි දිනුවා වගේ!”

නංගී හිනාවුනා.

“මල්ලියි මමයි මේ ලොතැරැයි ටිකට් ගත්තේ අවුරුදු කීපෙකට ඉස්සර!”

මල්ලිත් කතාවට එකතුවුනා.

“මගෙ ටිකට් එක දිනලද නැද්ද කියලා කියන්ට බෑ - තවම ඉන්නේ නයට!”

ඒ විභාග අසමත් වීමක් ගැන ඉඟියක් වුනත් එහෙම වෙන්න හේතුවක් නෑ කියලා මල්ලිම මට කියලා තියෙනවා. මල්ලිගෙ පඩිය නංගිගෙ පඩියටත් වඩා වැඩි වීම ගැන කවුරුත් කතාකළේ නෑ. මම කතාව වෙන අතකට හැරෙව්වා.

“ගෙදර වැඩ වලට බඩු එහෙම ඇවිත් තිබුනට මේසෙන් බාස්ලා ගැන කොහොමද චුට්ටී? අනික… ගෙදර කවුරුත් නැතුව මිනිස්සු මෙහෙ ඇවිත් වැඩ කරාට කමක් නැද්ද?”

අම්මා නංගියි මල්ලි දිහා බලලා හිනාවුනා. මෙතන මට නොතේරෙන විහිළුවක් තියෙනවා වගේ. කතා කරේ නංගී.

“අයියා මේ වැඩේ බාරගත්තේ එපිටවත්තේ මාමා. මාමා දැන් ආන්ඩුවේ වැඩ කරන්නෙ නෑ - විශ්රාම ගිහින් වගේ. හැබැයි මාමගෙ පරණ බාස්ලා - මාමම ට්රේන් කරලා ගත්ත මිනිස්සු - මාමගෙ වැඩ වලට එනවා. දවසක් මාමයි නැන්දයි අලුත් අවුරුද්දේ මෙහෙ ආපු වෙලාවේ අම්ම කිව්වා කරන්ට යන වැඩ ටික ගැන… මාමා හින්දා තමා මෙච්චර ඉක්මනට වැඩේ කෙරෙන්නේ”

“ෂා… නියමයි! ඇයි මට කිව්වෙ නැත්තේ මාමා මේ ගමේ වැඩ කරනවා කියලා? මාමලා තවම හතරලියද්දෙද ඉන්නේ?”

උත්තර දුන්නේ අම්මා.

“ඒ අයියා දන්න අයගෙ වැඩ විතරයි දැන් කරන්නේ… හැබැයි අක්කා මට කිව්වේ වැඩ නොකරම ඉන්න කොට අයියට පිස්සු හැදිලා වගේ කියලා… මං කිව්වේ ඇවිත් මෙහෙ නැවතිලා වැඩ කරාට කමක් නෑ කියලා, හතරලියද්දේ ඉඳන් දවස් ගානේ එනවට වඩා… අයියා තමා ඕන වැලි, ගඩොල්, සිමෙන්ති එහෙම ඕඩර් කරේ මැනලා බලලා… එන සතියේ සමහරවිට වැඩ පටන් ගනියි”

“එතකොට මෙ බඩු වලට ගෙව්වේ කවුද?”

“ඒ එපිටවත්තේ අයියගෙ අකෞන්ට් එකට - මාසේ අන්තිමට බිලක් දෙයි”

මම ටිකක් කල්පනා කරා. ජයේට කතා කරලා ආයෙත් ඇඩ්වාන්ස් එකක්වත් ගන්න වෙයි බිල් ආපුවම. අම්මට තේරුනා මගෙ හිත වැඩකරන හැටි.

“බඩු වලට ගෙවන්ට මා ලඟ සල්ලි තියෙනවා… අයියා කිව්වේ එයාගෙ බාස්ලට එයා ගෙවනවා කියලා - පස්සේ බිලට එකතු කරන්ට”

“ඒක මාමලාට පාඩුයි නේද - එහෙම සල්ලි හිර කර ගන්න එක?”

“අපි වගේ පඩියට වැඩ කරපු අයට වගේ නෙවෙයි… ආන්ඩුවේ කොන්තරක් කාරයෝ හොඳට හෙව්වා! අයියමයි කිව්වේ. ඒකයි පවුලේ අයගෙ වැඩ වලට විතරක් අතගහන්නේ… කිව්වා වෙලාවක ලොක්කා හම්බවෙන්ටත් ඕනෑ කියලා”

මට පොඩි බයක්, සැකයක් ඇතිවුනා ඒ වෙලාවේ. එපිටවත්තේ මාමා අපෙ කොම්පැනිය හරහා තව කොන්තරක් බලාපොරොත්තු වෙනවද? නැතිනම් නෑදෑයෙකුට රස්සාවක් ඉල්ලන්නද ලෑස්තිය? ආයෙත් අම්මා මගෙ හිත කියෙව්වා.

“ලොක්කගෙන් උදව් ඉල්ලන්ට නෙවෙයි අයියා හම්බවෙන්ට ඕනෑ කිව්වේ. අයියගෙ බාල පුතා, ලක්ෂ්මන්, ලඟදී රට යන්ට ඉන්නේ - ලොක්කගෙන් ඒ ගැන ටිකක් අහගන්ට ඕනෑ කිව්වා”

මට ලොකු ලජ්ජාවක් දැනුනා එපිටවත්තේ මාමා ගැන සැක හිතුවට. අම්මට ඒකත් දැනුනා. ඇත්තටම අපෙ අම්මගෙන් කිසිම දෙයක් හංගන්න බෑ!

“ඇයි ලොක්කා වෙලාවක හතරලියද්දේ ගිහින් එන්නෙ නැත්තේ? දැන් ගෙදර ඉන්නේ මහ ජෝඩුව විතරයි”

එතනින් ඒ සාකච්ඡාව ඉවරයි. මට වඩාම ඕනවුනේ නංගිගෙ රස්සාවටත් වඩා මහින්දගෙ අදහස් ගැන දැනගන්නයි.

“පිලැස්ස ඉස්කෝලේ හදාගන්න මහින්ද හුඟක් මහන්සිවුනාද?”

නංගී හිනාවුනේ ලැජ්ජාවෙන් වගේ.

“ඇහුවට කියන්නෙ නෑ! මං ඇහුවා හැබැයි කොච්චර ඇහුවත් ඒක ලිස්සලා යවනවා!”

“ඒ හැදිච්චි මනුස්සයෙක්ගෙ ගතියක්!”

මල්ලී කෙලින්ම හරි ප්රශ්නේ ඇහුවා.

“ඒ හැදිච්චි මනුස්සයා තමාගෙ මනුස්සයා කරගන්ට අක්කා තවම හිතලා නෑ?”

“චුට්ටී!”

අම්මා සැරේට කතා කරාට වචනේ තරහක් ගෑවිලාවත් නෑ.

“හැබෑට දුව… ඒ පුතාගෙ දෙමව්පියන්ට කතාකරන්ට නරකද?”

ඒ සැරේ නංගී කතා කරේ කල්පනාවෙන්.

“මහින්ද කියන්නේ ඉස්කෝලේ වාරයක් දෙකක් ගියහම බලමු කියලා… මං හිතන්නේ එයාගෙ අර විබහගේ හින්දා…”

“සී ඒ එස්ද?”

“ඔවු හැබැයි මේ දෙපාර්තමේන්තුවෙන් යන්ට අදහසකුත් නෑ වගේ, විබහගේ පාස්වුනත්”

“ඇයි? ඩී ආර් ඕ වැඩේ හොඳ මදිද? – එතකොට මට පුළුවන් ‘ඒජන්ත අයියා’ කියලා කතා කරන්ට!”

නංගී හිනාවුනේ නෑ.

“චුට්ටී එහෙම කිව්වට මහින්ද හිතන්නේ මඩකලපුවට එහෙම දැම්මොත් කියලා…”

ඒ සැරේ අම්මට විතරක් නෙවෙයි මටත් තේරුනා නංගිගෙ හිතේ තියෙන දේ. නංගී මෙහෙ ඉන්නකොට මඩකලපුව හුඟක් ඈත වගේ පෙනෙනවා ඇති.

“විබහගේ පාස්වුනාට බලෙන් කොහෙවත් යවන්නෙ නෑනේ? දෙපාර්තමේන්තුවෙම ඉහලට යන්ට පුළුවන් වෙයි ඔය විබහග පාස්වුනොත්”

“මාත් ඒකයි කිව්වේ… තව කල් තියෙනවා”

මල්ලී ඉන්ජිනේරුවෙක් වගේ හිතුවේ.

“මං කියන්ටද? එපිටවත්තේ මාමගෙන් අහගමු ගෙදර වැඩ කවදා ඉවරවෙයිද කියලා. හිතමු පෙබරවාරි මැද කියලා... එතකොට අපිට… නෑ අක්කට… පුළුවන් මහින්දට කතා කරලා අවුරුද්දට ඉස්සර දෙමව්පියන්ට කතා කරලා ගෙදර දොර බලන ගොන්පාට් අවුරුදු නිවාඩුවේ මුලදී කරගන්ට… ඊට පස්සේ දෙන්නට ඕන කාලෙක ඕන මගුලක් කරගත්තට කමක් නෑ - දෙපැත්තම කැමති නිසා… “

අම්මටත් හිනා ගියා ඒකට.

“චුට්ටිගෙ කතාව හරි, මම ඒ වචනම පාවිච්චි නොකරට! ලොක්කා මොකද කියන්නේ?”

මම නංගී දිහා බැලුවා.

“මොකද කියන්නේ?”

“… ඔවු… කර හැකි…”

මල්ලී නැගිට්ටා.

“රයිට්! මං නැත්තන් මේ කිසි දෙයක් වෙන්නෙ නෑ! අයියා ගිහින් නාමු රෑ වෙන්ට ඉස්සර”

………………………………..

1978 ජනවාරිය ලංකා කවයට ඉතා වැදගත් මාසයක්.

14 වෙනි සෙනසුරාදා ටෙලිකොන්ෆරන්ස් වෙලාවේ කාරණු කීපයක් ගැන තීරණ ගත්තා. මෙයින් පලමු තීරණය වූයේ ලංකා කවයට අමතරව ඊට වඩා පළල් ‘නැතිවූ රටවල්’ කවයක් දියත් කිරීමයි.

මේ ගැන පසුබිම් කරුණු දැක්වීම මට බාර වුනා. මගේ කතාව ඉංග්රීසියෙන් කරන්න මම තීරණය කළේ ඇඩිලේඩ් නගරේ එරන්දතී එගොඩවත්තගෙ නවසීලංත ජාතික සැමියාවූ ඩේවිඩ් ඇන්ඩසන්ගේ සහභාගිත්වයයි.

“මේ කෙටි කාලය තුල අපි එකතු කරලා තියෙන දත්ත මම කෙටියෙන් කියන්නම්. මා දන්න තරමට, බ්රිස්බන් නගරයේ නීලයි මමයි තමා ඉස්සරවෙලාම ලංකාව නෑ කියලා සොයාගත්තේ. ඒ ගිය අවුරුද්දේ ඔක්තෝබර් 29වෙනි සෙනසුරාදා. මම ඉරිදා ආපහු ලංකාවේ යන්න හිටියේ, නමුත් සේරටම තේරෙනවා නේද එතකොට මගෙ පාස්පෝට්, ගුවන් බලපත්ර එහෙම නෑ කියලා?”

“කිරිබති දූපතෙන් ආ පවුලක්, මගෙ යාළු මයිකල්, එයාගෙ වයිෆ් කෙලේලා සහ වයස එකේ පුතා, තමා ඊ ලඟට ‘නැතිවූ රටක’ අය හැටියට අපි හඳුනා ගත්තේ. නීලගෙ අදහසක් අනුව අපි යුනිවසිටි වල නෝටිස් දාලා තමා සිඩ්නි වලින් සුරාජ්, අනුලා, මෙල්බන් වලින්, රවී, අඩිලේඩ් වලින් තිලකා, පර්ත් වලින් චාමර එහෙම අපිට එකතුවුනේ. ඊට ටිකකට පස්සේ බ්රිස්බන් වල මලික් හමුවුනේ. එතකොට ලාංකිකයෝ අට දෙනෙක් ඉන්නවා ලංකා කවයේ. කිරිබති වල තුන්දෙනත් අපිට හම්බවෙනවා නිතරම වගේ”

“ඊලඟට ලංකා කවයට ඇඩිලේඩ් වලින් එකතුවුනේ සරත්, රමනී, එරන්දතී එගොඩවත්තත් ඩේවිඩ් ඇන්ඩසනුත්, තිලකගෙ මාර්ගයෙන්. දැන් ලංකා කවයේ දොලොස් දෙනෙක් ඉන්නවා”

මම ප්රශ්න ඇතිද කියලා බලන්න විනාඩියක් නිහඬව හිටියා. ප්රශ්නයක් මතුවුනේ නෑ.

“නැතිවූ අනික් රටවල් වලින් ආ අය ගැන කියන්න ඉස්සර මම සුරාජ්ට ස්තුති කරන්න ඕනෑ ලංකා කවයේ කළමනාවට…. නීලා ආයෙත් යුනිවසිටි වල නෝටිස් දැම්මා - මේ සැරේ අපි දන්න, නැතිවූ දූපත් වල නම් සමග. බෝගන්විල්, කිරිබති, මැඩගැස්කා, සීශෙල්ස් හා ශ්රී ලංකා. ඒවට ලැබුනු පිළිතුරු අනුව අපි ලඟ ලයිස්තුවට එකතු කරන්න පුළුවන් බෝගන්විල් වලින් හය දෙනෙක්, කැනෙරි දූපත් වලින් එක් කෙනෙක්, බටහිර ඉන්දියානු දූපත් වලින් තුන් දෙනෙක්. බටහිර ඉන්දියානු දූපත් හතරක් දැන් නැති බව බාබේඩොස් වලින් ආ ශෙලී කියනවා… ඒ කියන්නේ අපි රටවල් නැති තව දහ දෙනෙක් ගැන දන්නවා. ඒ වගේම අලුතෙන් නැතිවුන දූපත් පහක් ගැන දන්නවා… මගෙ සමරි එක එතනින් ඉවරයි - තැන්ක්යූ”

පොඩි අප්පුඩි පාරකුත් ඒ සැරේ ඇහුනා. සුරාජ් කතා කරේ සතුටින් බව කට හඬින් දැනුනා.

“තැක්යූ ලලිත් සමග බ්රිස්බන් කන්ඩායමට… අපි නත්තල් නිවාඩුවට පාටි දානකොට බ්රිස්බන් කට්ටිය වැඩ! නැවතත් තැන්ක්යූ!... මම නත්තල් පාටි දානවා කිව්වට අපි සේරම වගේ ඉන්නේ පාටි දාන තත්වයක නෙවෙයි කියලා මට තේරෙනවා… අපි බලමු මෙතනින් ඉදිරියට කරන්න ඕනෑ මොනවද කියලා… අපෙ බ්රිස්බන් කට්ටියගෙන් තව යමක් කියවෙන්න තියෙනවද?”

මම නීලයි මලිකුයි දිහා බලලා සභාවට කතා කරා.

“අපෙ ඊ ලඟ පියවරක් ගැන මම යමක් කිව්වට කමක් නැද්ද?”

“රයිට් ලලිත්”

“මේක අලුත් දෙයක් නෙවෙයි - අපි දැනට කරන දේ දිගට කරන්න යෝජනාවක්… අපි තුන්දෙනා මේ ගැන දැනටම සාකච්ඡා කරලා තියෙන්නේ… අපි කැමතියි ආයෙත් යුනිවසිටි වල දැන්වීම් දාන්න - අලුතින් නැතිවුන දූපත් වල නම් සහිතව… නත්තලට ඉස්සර දාපු නෝටිස් එකේ දූපත් පහක් නම්කරා - දැන් අපිට පුළුවන් දූපත් දහයක් දාන්න… මේ නෝටිස් දැමීම ක්රමානුකූලව කරොත් අපේ දත්ත ගබඩාව එන්න එන්න දියුණු වෙනවා… එතකොට අපිට පුළුවන් දූපත් නැතිවෙන වෙලා අනුව ඒවා නැතිවෙන්නේ යම් රටාවක් අනුවද කියලා බලන්න… ඒවා ටිකක් අනාගතේ; දැනට අපිට ඕනෑ මේ සේරගෙම සපෝට් එක වරින් වර දැන්වීම් ප්රචාරය කිරීමට”

සුරාජ් එයාගෙ ආධාරය පොරොන්දු වුනාට පස්සේ සභාවේ වටේටම ආධාර පොරොන්දු ලැබුනා. එගොඩවත්ත පවුලේ අය මුදලිනුත් ආධාර කරන්න ඉදිරිපත්වුනා. අපේ ප්රයත්නවල යම් කිසි ඵලදායී බවක් දුටු නිසාදෝ වෙනදාට වඩා අපේ ටෙලිකොන්ෆරන්ස් එක කාලයෙන් දික්වුනා.

ලාංකික නොවන ‘සරණාගතයන්ගේ’ ශුභසිද්ධිය සඳහා ‘නැතිවු දූපත් එකතුවක් නිර්මාණය කිරීමට සුරාජ්ට එගොඩවත්ත පවුලත් එකතුවුනා. ආරම්භයේ ‘නැතිවූ දූපත් එකතුවේ කළමනාව ලංකා කවය බාරගන්නත් ලංකා කවය එහි සාමාජිකයෙක් වෙන්නත් තීරණය වුනා.

ඊලඟ ටෙලිකොන්ෆරන්ස් හමුවීමට ලාංකික නොවන කන්ඩායමටත් ආරාධනා කිරීමට නීලා කළ යෝජනාව සභාව පිලිගත්තා. එහිදී වර්තමාන තත්වය ගැන ඔවුන් දැනුවත් කිරීම මට බාරවුනා.

……………………………

නාන්න වතුරට බහින්න ඉස්සර මල්ලී තුවායේ ඔතා බාල්දියේ සඟවා තිබූ කුඩා බෝතලයකින් මට බීම ටිකක් වීදුරුවට වක්කරලා දුන්නා.

“ගෙදර බැරිනං ඇලේ හරි සෙලිබ්රේට් කරන්ට ඕනෑ දවසක්!”

මම සද්ද නැතුව බීලා වීදුරුව මල්ලිට දුන්නා. මගෙ ජීවිතේ පසුගිය මාස තුනේ කොයි තරම් වෙනස් වුනාද?

ගිය අවුරුද්දේ මේ දවස් වල මම නත්තල් නිවාඩුවට බ්රිස්බන් දකුණ දුම්රිය පොලේ වැඩ. වේදිකාව පිරිසිදු කිරීම, බඩු පැටවීම, මගීන්ට උදව් කිරීම වගේ වැඩ මුලු නිවාඩු කාලෙම කරා. ඒ නිවාඩුවෙන් පස්සේ මගෙ ඉගෙනීමේ වැඩ වල යෙදුනා ගෙදර එන දවස් කිට්ටු වෙනකම්. මාත් එක්ක එකට ඉගෙන ගත්ත අයත් දැන් රස්සා කරනවද? ඒ අයත් දැන් ගෙවල් වලට ගිහින්ද? මට මතක හැටියට මගෙ යාළුවෝ දෙමව්පියෝ බලන්න ගියේ කලාතුරකින්. දෙමව්පියෝ දරුවෝ බලන්න ගියේ ඊටත් වඩා කලාතුරකින්. අපෙ පවුලේ වගේ කිට්ටුවන්ත කමක් ඇත්තෙම නෑ වගේ.

මට පුදුම සතුටක් දැනුනා. පවුලේ ඔක්කොම අද ගෙදර. නංගියි මල්ලියි අලුත් රස්සා පටන්ගෙන. මම මගෙ රස්සාව, මටම ඔබින ජාතියේ රස්සාව, පටන්ගත්තේ බොහොම මෑතක. ඒ වගේම නංගී ලඟදී මහින්දව බඳී. ඒක අපි සේරටම සතුටු වෙන්න පුළුවන් දෙයක්. අනික ගෙදරත් අලුත්වැඩියා වෙනවා. අම්මගෙ ජීවිතෙත් ටිකක් හරි ලේසි වෙයි.

මම මල්ලී දිහා බැලුවේ හිනා මුහුණින්.

“මල්ලි ඔය වීදුරුව ගත්තේ සින්නක්කරේටද?”r>