තැබෑරුම
ගෙවල් කිට්ටුව කඩ මංඩියක් තිබුනත් අපි තවම නුවර ටවුමට ආවොත් ගෙදරට ඕනෑ සිල්ලර බඩු ටවුමෙන් ගන්නවා. ඒ මං හිතන්නේ පහුගිය දවස්වල වැඩ ඉවරවෙලා ටවුමෙන් බඩු ගත්ත පුරුද්දට. කොළඹ වීදියෙන් හාල්, පරිප්පු,අල, ලූනු වගේම ඉඳලා හිටලා අරක්කු බෝතලේකුත් ගත්තේ ඒ පැත්තෙන්. ඊයේ අපෙ ගමේ නවරත්න මට හම්බවුනේ කොළඹ වීදියේ.
“හා නවේ! මොකද ටවුම පැත්තේ?”
“මහත්තයා… මං මේ කච්චේරියට ගියා… පෝරම කොල ටිකක් ගන්ට”
“වැඩේ ඉවරද? එහෙනං තේ එකක්වත් බොමුද?”
ගමේ කෙනෙක් ටවුමේ හම්බවුනොත් තේ කෝප්පයක්වත් නොදී බෑ. නමුත් නවේ ටිකක් අදි මදි කළා.
“… දැන් නම් බෑ මහත්තයා …. තව බඩු ටිකක් එහෙමත් ගන්ට තියෙනවා - දොලහේ බස් එකේ වත් යන්ට ඕනෑ”
“කමක් නෑ… මාමා දැක්කොත් කියනවද මම ශොක්මන් මහත්තයත් එක්ක තව සතියකින් විතර එනවා කියලා”
“හොඳයි - මං යනවා”
ශොක්මන් මහත්තයා කිව්වේ අරක්කු වලට - මාමගෙයි මගෙයි පෞද්ගලික සංඥාවෙන් මම කිව්වේ අරක්කු ගෙනෙන බව. මම ඉඳලා හිටලා මාමගෙ අරක්කු අඩු පාඩු පිරිමසා දෙනවා. ඒ මාමා නිතරම ටවුමට නොඑන නිසා - ගම් පලාතේ රා හැර වෙන මත්පැන් ගන්න තැනක් නෑ.
නමුත් නවරත්න මල්ලකුත් එල්ලාගෙන තැබෑරුමෙන් එලියට එනවා දුටු මට හිතුනේ මාමට අරක්කු සපයන තවත් කෙනෙක් ගමේ ඉන්න බවයි; මම දන්නවා නවරත්න බොන්නෙ නෑ. අපි එකිනෙකා නොදුටු ඉරියව්වෙන් හිටියේ ගමේ සිරිත අනුව තැබෑරුමක් වගේ තැනකට කෙනෙක් යන්නේ අනික් ගැමියන්ට නොදැනෙන විදිහට හොර රහසේ නිසා.
මට නවරත්න හමුවීම කමලට එදා හවස කිව්වට ඒ මාතෘකාව නැවත මතුවුනේ සති දෙකකට පස්සේ. කමලා කතාව පටන්ගත්තේ නුවර නගරේ සෙනග දිනෙන් දින වැඩි වන හැටි කියලා.
“අප්පෝ සෙනග! අඩිය තියන්න ඉඩ නෑ පේව්මන්ට් එකේ… ඒ අස්සේ පේව්මන්ට් එකෙත් කඩ”
“ඒක ඇත්ත. එදා මම බඩු ගෙනා දවසේ කොළඹ වීදිය පෙරහැර කාලේ වගේ!”
“මමත් කිව්වේ කොළඹ වීදිය ගැන තමා… මං දැක්කා නවරත්න අදත් අර තැබෑරුමෙන් එලියට එනවා!”
“පුදුමයි… මිනිහා බොන්නෙ නෑ”
“ඒක මං දන්නෙ නෑ හැබැයි මල්ලත් කරේ දාගන තැබෑරුමෙන් එලියට ආවේ කොන්ඩේ කපන්න ගිහින් නෙවෙයි!”
මේක වැදගත් ප්රවෘතියක් කියලා මම හිතුවෙ නැතත් ඒ ගැන මාමගෙන් අහන්න හිතාගෙන මම මාතෘකාව වෙනස්කළා.
……………………………
“පුතා මේ පැත්තේ එන්නෙ එහෙම නැද්ද, ලඟදී?”
මාමට ටෙලිෆෝන් කරන්න තීරණයක් ගත්තට ඒ ගැන මට සම්පූර්ණෙන්ම අමතකවුනා. ඒ සිකුරාදා මාමා ටෙලිෆෝන් කළේ නැතිනම් නවරත්නගෙ කතාව ආයෙ මතු නොවෙන්න ඉඩ තිබුනා.
“ඇයි මාමා මොකවත් හදිස්සියක්ද?”
“එහෙම එකක් නෑ… මං නිකමට හිතුවේ එයිද කියලා”
අබේ මාමා හේතුවක් නැතුව කිසිම දෙයක් කරන කෙනෙක් නෙවෙයි. තමාගේ වැඩ තමාම කරගන්නවා වගේම අනික් අයට කරදර නොකිරීම මාමාගේ චරිතයේ වැදගත් කොටසක්.
“මමත් හිතාගෙන හිටියේ ආවොත් හොඳයි කියලා… කමලත් එක්ක කතා කරලා තව පොඩ්ඩකින් කෝල් එකක් දුන්නොත් ඇතිද?”
“අපෝ ඔවු… හදිස්සියක් නෑ. මටත් කාලෙකින් ටවුමට එන්ටත් බැරිවුනා…”
ඒ කියන්නේ මාමා ලඟ අරක්කු ඉවරයි. මට පොඩි නිහඬ හිනාවක් ආවා.
“රයිට්… මම කෝල් එකක් දෙන්නම්. වෙන මොනවත් ඕනද ටවුමෙන්?”
“… මාකට් පැත්තේ යනවානම් බල මාළු තියෙනවද බැලුවොත්…”
ගමේ කෑම නගරේ කෑමට වඩා හුඟක් වෙනස්. ගමේ එලවළු, කොස්, දෙල්, අල වර්ග කිහිපයක්, පලතුරු වැනි දේ වලින් කිසිම අඩුවක් නැතුවට මස් මාළු හිඟයි. ඉඳ හිට දඩමස් යමක් නොලබුනොත් කඩෙන් ගන්න කරවල හාල්මැස්සෝ පමණයි. සාමාන්ය මස් මාළු කෑමට ආශාවක්/අවශ්යතාවයක් දනුනොත් මහනුවර හෝ වෙනත් නගරයකට යෑම හැර වෙන ක්රමයක් අපේ ගමට නෑ. කමලා වෙනදා වගේම ගමේ එළවලු සහ ‘තිබුනොත්’ දෙල් වලට ඉල්ලීමක් ඉදිරිපත් කළා.
මා පුදුම කරමින් නිලංතත් ගමෙන් යමක් ඉල්ලුවා.
“අප්පච්චී පුළුවන් නම් සාදික්කා ගෙඩියක් දෙකකුයි ලා කොකෝ ගෙඩියකුයි ගේනවද? තිබුනොත්?”
“මොකටද සාදික්කා… කොකෝ ගැට?”
නිලංත හිනාවුනා.
“සාදික්කා බොටනි කරන කෙනෙකුට - ගෙඩිය ඇතුලේ වසාවාසි දැකලා නෑ කිව්ව නිසා… කොකෝ ගෙඩිය… අර අප්පච්චී එක දවසක් කිව්වේ කරත්ත රෝදෙට ‘කොකෝ ග්රීස්’ දාපු හැටි - ඒක එන්ජිනියරින් කොල්ලෙකුට ටෙස්ට් කරලා බලන්න ඕනලු…”
කමලටයි මටයි පුදුමයි.
“නිලංතට කොහොමද මේවා ඔය තරම් මතක?”
“අම්මා… මම විබහග පාස් වෙන්නේ මතකේ හොඳ නිසා - වැඩිය පාඩම් කරලා නෙවෙයි!”
එතකොට සිරිනිත් කට දැම්මා.
“ඒකට මට! ඊයේ අහපු දේ අද වෙනකොට මතක නෑ!”
“ඒකද අදවත් කාමරේ අස්රලා නැත්තේ? මං කී සැරයක් කිව්වද?”
“හේ… දැන් තේරෙනවා නේද වැරැද්ද මගෙ නෙවෙයි කියලා? දෙමව්පියෝ මට දීපු මතකේ හරිම බාල එකක්!”
මාමලා දකින්න ගමේ යෑමට මම කොයි තරම් කැමති වුනත්, මගෙ පවුලේ අයත් එක්ක ගෙදර ඉඳීමත් නරක නෑ කියලා මට ඒ වෙලාවේ හිතුනා.
………………………….
“දුව ආවෙ නෑ?”
නැන්දා සාමාන්යෙන් අහන ප්රශ්නයක් - මම ආවේ තනියම බව හොඳින් පෙනුනත්.
“නෑ නැන්දා - ඉස්කෝලේ වැඩ ටිකක් වැඩී වගේ”
ඒකත් මගෙ සාමාන්ය උත්තරේ. මාමා එකම ප්රශ්නේ කීප සැරයක් අහන කෙනෙක් නෙවෙයි.
“බල මාළු තිබුනද? පුතාගෙ යාළු විජේසිංහලා රෑ කෑමට එනවා - මං හිතුවේ පද්මට හොඳවෙයි කියලා එහෙම දෙයක්… තවම ඇඟ දුර්වලයි”
“පවු… දැන් පොඩ්ඩෝ කොහොමද?”
මම ඇහුවේ මාමගෙන්. මාමා දන්නවා මම අහන්නේ සඳමාලී ගැන කියලා.
“ඒ අතින් කිසි ප්රශ්නයක් නෑ. කොල්ලෝ දෙන්නම වැඩට දක්ෂයි… සඳමාලිත් ඒ වගේම වෙයි”
හවස තේ එකෙන් පස්සේ මම පුරුදු විදිහට ඇලේ නාන්න යන වෙලාවේ මාමත් ආවා ඇල ලඟට. මාමා හවස නාන කෙනෙක් නෙවෙයි. නමුත් නැන්දත් ඒ ගැන කිසි දෙයක් නොකිව්වේ අපි දෙන්නට යමක් කතාකරගන්න ඇති බව දැනගන වෙන්න ඇති.
“මොකද මාමා කවදාවත් නැතුව හවස්වෙලා නාන්නද?”
“නෑ පුතා… මට පොඩි උදව්වක් ඉල්ලන්ට තියෙනවා…”
“පුතාගෙ යාළුවා - විජේසිංහ - කිව්වා මාත් එක්ක මොකද්දෝ කතා කරගන්න තියෙනවා කියලා. මාතෘකාව මොකද්ද කියලා මම හරියටම දන්නෙ නෑ නමුත් බීමට සම්බන්ධයි. මහ දෙන්නයි සඳමාලියි එයි පහට විතර - කොල්ලෝ දෙන්නා එන්නෙ නෑ…”
“බීමට සම්බන්ධ කොහොමද? විජේ බිව්වේ ඉඳලා හිටලා - ඇයි ගෙදර කරදරද?”
“මං හිතන්නෙ නෑ විජේසිංහගෙගෙ බීම ගැන කියලා… “
මාමගෙ කතාව තේරුම් ගන්න අමාරුයි. නමුත් මාමට උදව්වක් දීම මගෙ යුතුකමක්.
“මොකද්ද මගෙන් වෙන්න ඕනෑ?”
“නැන්දා තමා පුතාට කතාකරන්ට කිව්වේ… පුතාට පුළුවන්ද එයා කන්තෝරු කාමරේට එක්ක ගිහින් ඩ්රින්ක් එකක් දෙන්ට? නැන්දයි පද්මයි පොඩි එකියි ඉන්න තැන එයා මොකවත් කියන එකක් නෑ”
“ඒක ප්රශ්නයක් නෙවෙයි. එතකොට මාමා?”
“විජේසිංහ කවදාවත් මාත් එක්ක ඩ්රින්ක් එකක් අරගෙන නෑ. දන්නවා නේ ලොකුමහත්තයා/ගුරුවරයා වෙනස? ඒ අපහසුව අස්සේ කෙලින්ම මොකවත් කියන එකක් නෑ - මේක සෙන්සිටිව් සබ්ජෙක්ට් එකක් නිසා. මම කාමරේට එනවා විනාඩි පහලවකින් විතර… ඒ වෙනකොට මිනිහා කතාව පටන්ගෙන තියෙයි - මං කැමතියි පුතාගෙ අදහස් දැනගන්න, එයාට අවවාදයක් දෙන්න ඉස්සර…”
මාමා කිව්වා වගේ පද්මා හොඳටම කෙට්ටුයි නමුත් කටහඬ ඉස්සර වගේම බලවත්. මගෙ හොඳ යාළුවෝ හැටියට විජෙයි පද්මයි දැකගැනීම ලොකු සතුටක්. නමුත් මට ඊටත් වඩා සතුටක් දැනුනේ සඳමාලී දැකීමෙන්. කෙල්ල බේරුන බේරිල්ල ගැන මම තවමත් පුදුම වෙනවා.
අපෙ සතුටු සාමීචිය විනාඩි දහයක් විතර ගියාට පස්සේ නැන්දයි පද්මයි කුස්සිය පැත්තට ගියා. මම විජෙත් එක්ක එලියට යන්න නැගිට්ටා. මාමත් නැගිට්ටා.
“පුතාට පුළුවන්ද විජේසිංහ මහත්තයා පොඩ්ඩකට බලාගන්ට, මම අර එදිරිසිංහට කෝල් එකක් දීලා එනකම්?”
මම විජෙත් එක්ක කෙලින්ම කන්තෝරු කාමරේට ගියා. මාමා අරක්කු බෝතලයක්, ලෙමනේඩ් සහ වතුර බෝතල්, වීදුරු එහෙම ලෑස්ති කරලා තිබුනේ. පොඩි තසිමක තීරු හැටියට කැපූ රෝස් පානුයි පොලුයි - නියම ‘බයිට්’ එක. මාමයි නැන්දයි සෑහෙන්න මහන්සිවෙලා ‘රඟහල’ ලෑස්ති කරලා තියෙන්නේ!
“චියර්ස් විජේ”
වැඩි වෙලාවක් ගියෙ නෑ විජේගෙ ප්රශ්නේ එලියට එන්න.
“හරි වැඩේ නේ අජිත් අයියා… අපෙ ගමට තැබෑරුමක් ඇවිත් - කොහෙන් කෙලවර වෙයිද මන්දා!”
“මොනවා! අපෙ ගමේ? තැබෑරුමක්? මුළ ඉඳන් කියනවද මොකද වුනේ කියලා?”
“අයියා දන්නවනේ අපෙ ගමේ ඉස්සර ඉඳන් රා තිබුනා. දැන් කිතුල් තලන අය අඩුයි නමුත් එහෙ මෙහෙ රා තියෙනවා… ගමේ මිනිස්සු ඇඟේ මහන්සියට රා ටිකක් බිව්වට අපිට ප්රශ්නයක් නෑ - මාත් හම්බවුනොත් රා පොල්කට්ටක් ඉඳලා හිටලා බොනවා… “
විජේ අරක්කු උගුරක් බීලා හිනාවුනා.
“මමත් අරක්කු බිබී මේ කියන්ට යනදේ විහිළුවක් හැටියට පෙනෙන්ට පුළුවන්… නමුත් මට අපෙ ගම ගැන පොඩි බයක් ඇතිවෙනවා”
“මොකද බයක් කිව්වේ?”
“අයියා දන්නවානේ අප් ගෙදර හතේ කනුවට පහලින් තියෙන්නෙ. එතන උඩින් රබර් වත්තේ තිබුන පොඩි ගෙදර මතකද? අර වත්ත බලාගත්ත අරනෝලිස්ගෙ? අරනෝලිස් මැරිලා කාලයක්; දැන් එතන් ඉන්නේ මිනිහගෙ බෑනා - සුරංජිත්. මිනිහා මේ ලඟදී අළුත් බිස්නස් එකක් පටන්ගෙන - හොර අරක්කු!”
මහියන්ගනේ ඉන්න දවස්වල මමයි විජෙයි හොර අරක්කු අරගෙන තියෙනවා. නමුත් දැන් ඒ කතා මතක් කරන වෙලාවක් නෙවෙයි කියලා මට හිතුනා.
“මට ප්රශ්නයක් නෑ මිනිස්සු හොරෙන් හරි නීතියට අනුව හරි සද්ද නැතුව එකක් දෙකක් බීලා ගෙදර යනවානම්… දැන් හතේ කනුව උන්ගෙ පාටි දාන තැන වෙලා! රෑ නමය දහයටත් සද්දේ… කුණුහරපත් එක්ක, සමහර දවස්වල… මං ග්රාමසේවකට කිව්වා - නෑ කිසි වැඩක්, මං ලොකුමහත්තයගෙන් අහන්ට හිටියේ පොලිසියට කිව්වොත් නරකද කියලා”
මාමගෙ මුහුර්තනය නියමයි.
“මොකද්ද පොලිසියට කියන්ට ඕනෑ… පුතා මගෙ වීදුරුවේ මොකවත් නෑ නේ!”
මම විජේගෙ කතාව මාමට කෙටියෙන් කිව්වා. ඒ එක්කම මගෙ අදහසුත් එකතුකරා.
“ඉක්මනට නැවැත්තුවෙ නැත්නම් පස්සට කරදර වැඩිවෙනවා මාමා, තව තව මිනිස්සු බොන්න පටන්ගත්තහම…”
මාමා ටිකක් කල්පනා කළා. කතාකළේ ගුරුවර කටහඬින්.
“මෙතන ප්රශ්නේ මොකද්ද? බීපු මිනිස්සු පාරේ කෑ ගහන සද්දෙද, බීමෙන් ගමට වෙන හානියද, නීති විරෝධී මත්පැන් විකිනීමද? නැතනම් මෙකී නොකී විනාශද?”
මාමම උත්තරේ දෙන්න පටන්ගත්තා.
“පොලිසියෙන් ඇවිත් බොන මිනිස්සු එලෙව්වොත්, සුරංජිත්ට නඩු දැම්මොත්, දඩ ගැහුවොත් මොකද වෙන්නේ? මං හිතන්නේ කරදර නවතියි - හැබැයි කෙටි කාලෙකට. සුරංජිත් පොලිසියට පගා දීලා හරි ආයෙත් රස්සාව පටන්ගනියි. නමුත් මට වඩාම බය හිතෙන්නේ සුරංජිත් කරන දේ නෙවෙයි - බීමට පුරුදුවෙලා, බීලා කෑගහලා කුල්මත්වෙන මිනිස්සු මොනවා කරයිද කියලා. එවුන් හොයලා බලයිද කවුද පොලිසියට කිව්වේ කියලා?”
විජේගෙ මුහුණ සුදුමැලි වෙලා ගියා ඒ වචනෙට. මාමා විජේ දිහා බලලා ටිකක් හිනාවුනා.
“මං මිස්ටර් විජේසිංහ ගැන නෙවෙයි කිව්වේ - පොලිසියට කියනවානම් මමයි කියන්නේ. කිව්වේ මම කියලා ප්රසිද්ධියේ කියන්න මට පුළුවන්… එතකොට මහත්තයට කරදරයක් වෙන්නෙ නෑ… නාකි මට කවුරුත් කරදරයක් කරයි කියලා මං හිතන්නෙ නෑ”
මේ කතාව මගෙ හිතට ඇල්ලුවෙ නෑ. මාමා මොක කිව්වත් බීමත් මිනිහෙක්, නැතිනම් බීමත් වෙන්න බලාගෙන ඉන්න මිනිහෙක්, විශ්වාස කරන්න බෑ. මාමට අනතුරක් වෙන්න ඉඩදෙන්න බෑ. විජේගෙ මුහුණෙනුත් පෙනුනේ ඒකමයි.
“මාමා… අපිට බැරිද ගමට අරක්කු ගෙනෙන එක නවත්තන්න? මම දන්නවා ගමට අරක්කු ගෙනෙන එක්කෙනෙක් - බොන්නෙ නැති කෙනෙක්. නුවර තැබෑරුමකින් අරක්කු අරගෙන එලියට එනවා අපි සති දෙකක් ඇතුළත දෙසැරයක් දැකලා තියෙනවා”
මාමයි විජෙයි දෙන්නම පරෙස්සම්වුනා මිනිහා කවුද කියලා මගෙන් නොඅසා ඉන්න. ඒක අපි සොයන උත්තරේ වැදගත් කොටසක් නෙවෙයි.
“එක්කෙනෙක් නැවැත්තුවොත් තව කෙනෙක් එතෙන්ට එයි නේද? අනික, දැනටම කී දෙනෙක් ටවුමෙන් බඩු ගේනවද කියලා අපි දන්නෙ නෑ”
“ඒක ඇත්ත… බඩු එන එක නවත්තන්න බෑ, සුරංජිත් බඩු විකුනන එක නවත්තන්නත් බෑ… මොකද්ද ලොකුමහත්තයා එතකොට කරන්න පුළුවන්?”
“ඒක ගැන තව ටිකක් හිතන්න ඕනෑ මිස්ටර් විජේසිංහ… මම තව දවස් තුන හතරකින් හොඳ විසඳුමක් හොයාගන්නවා… හැබැයි ඉස්සරවෙලා ඒකට පිට කෙනෙක් එක්ක යමක් කතා කරගන්නෙ නැතුව බෑ…”
“හැබැයි මම එකක් කියන්නම් - හතේ කනුවේ පාටි වැඩි කල් තියෙන්නෙ නෑ - ඒක සහතිකයි…. වෙලා ගියා - දැන් අපි මොකවත් කෑවොත් නරකද?”
…………………………….
මාමයි මමයි අප්පුහාමිට කතාකළේ පහුවදා උදේ. අපේ සාකච්ඡාවේ ප්රතිපල ආරංචිවුනේ විජේගෙ ටෙලිෆෝන් ඇමතුමෙන්, සතියකට පස්සේ.
“අජිත් අයියා… ලොකු මහත්තයා මොක කරාද නැද්ද මන්දා… අයියා ආපු දාට පහුවදා, ඉරිදා, හතේ කනුවේ පාටිය වෙනදට වඩා සද්දයි වගේ දැනුනේ… මං හිතන්නේ පොඩි ගුටි කෙලියකුත් පටන් ගත්තා… සඳුදා රෑ සද්දේ හොඳටම අඩුයි - ඊට පස්සේ ඉඳන් රෑට කිසිම සද්දයක් නෑ…”
“මොකද මිනිස්සු කියන්නේ?”
“ඇහෙන කතා ටිකක් අවුල්… ඉරිදා රෑ දහ දෙනෙක් විතර හිටියලු. නවරත්න - මිනිහා කඩේ ගිහින් එනවලු ඒ වෙලාවේ - කිව්වේ පොඩි රන්ඩුවක් පටන්ගත්තේ එක එක්කෙනාගෙන් වෙන වෙන ගණන් අරගෙන කියලා. එතකොට සුරංජිත් පහලට ඇවිත් කෑ ගැහුවලු, වැඩිය සද්ද කරන්ට එපා කියලා. එතකොට රන්ඩුව හොඳටම වැඩිවෙලා ගිහින් ගුටි කෙලියක් පටන්ගත්තලු… අනික… නවරත්න කිව්වේ සුරංජිත් දිවුරලා කියනවා කියලා එයා පාර ලඟට ආවෙ නෑ කියලා!”
මට පොඩි හිනාවක් ආවා අප්පුහාමිගෙ ක්රමය ගැන.
“පහුවදා රෑ ඊට වඩා පුදුම දෙයක්… නවරත්නමයි කිව්වේ… එදත් දහ දෙනෙක් විතර හිටියට වැඩිය සද්ද නැතිලු. සුරංජිත් කියලා සේරම ගෙව්වේ එකම ගණන වගේම එයා පාරට ආවෙත් නෑ කියලා… එදා රෑ සුරංජිත් පහලට ආවෙ නැතුවට පහලට ආවේ අරනෝලිස්!”
“සුරංජිත්ගෙ මාමා? කාලෙකට ඉස්සර මැරුන අරනෝලිස්?”
“ඔවු… නවරත්න කියපු විදිහට. අරනෝලිස්… අරනෝලිස් වගේ නාකියා කිව්වලු ‘ආයේ මගෙ ගෙදර පැත්ත පලාතට ආවොත්, තොපෙ කුළුඳුල් දරුවා බිලි ගන්නවා!’ කියලා. නවරත්න කිව්වේ ඒ කටහඬ කෙලින්ම අපායෙන් ආවා වගේලු. එතකොට කන්දේවත්තේ කිරිබංඩා ගඩොල් බාගයකින් අරනෝලිස්ට ගහලා - ඇති වීරියෙන්… අ… නවේ කියන විදිහට … ගඩොල පපුව මැදින් ගිහින් බෝක්කු කනුවේ වැදුනලු… එතකොට තමා අරනෝලිස් හිනා වෙන්ට පටන්ගත්තේ - නවරත්නට එහෙමම කලන්තේ හැදිලා වැටිලා - අනික් උන් සේරම දුවලා… එදා ඉඳන් රෑට කිසි සද්දයක් නෑ!”
“නවරත්න රෑ දෙකේම එතන…?”
“මිනිහා ඒක ගැනත් කිව්වා… අයියා විශ්වාස කරන්ට… නවරත්නත් බිස්නස් එකේ කොටස් කාරයෙක්. මිනිහා ලොකුමහත්තයට කතාව ඔක්කොම කියලා දනගහලා සමාව ඉල්ලුවලු… ලොකු මහත්තයා තමා නවරත්න අපෙ ගෙදර එව්වේ කතාව මට කියලා සමාව ඉල්ලන්ට… අයියා… මම මෙතෙක් කල් හොල්මන් විශ්වාස කරේම නෑ… හැබැයි දැන්…”
“ඔව්වා ගණන් ගන්න එපා විජේ - ලෝකේ අපිට නොතේරෙන දේ කොච්චර ඇද්ද?”