මාරුවක්

මාමා අපෙ ගෙදර ආවේ සඳුදා උදේ, මම ගේ ඉස්සරහ ටැප් එක හද හදා ඉන්න වෙලාවේ. එතකොට ගෙදර මං විතරයි - පවුලයි දරුවොයි ඉස්කෝල/සරසවි ගිහින්.

“පුතා පයිප්පබාස් වැඩෙත් කරනවා වගේ!”

“මාමා!... මේ අලුත් වොෂර් එකක් දානවා විතරයි… මාමා අදනං ජැන්ඩියට ඇඳගෙන ඇවිත් තියෙන්නේ ටවුමේ වැඩකටත් එක්ක! යං තේ එකක් බීලා කතා බැරියෑ… කොහොමද නැන්දා එහෙම?”

අපෙ හිස් ආගිය කතා වලට වැඩි වෙලාවක් ගියේ නෑ. තේ කෝප්පත් අරගෙන වාඩිවුන වහාම මාමා කතා කළා - වැදගත් ප්රවුර්තියක් හෙලිදරව් කරනවා වගේ. .

“අපෙ මිස්ට එදිරිසිංහ මැදවච්චියට ට්රාන්ස්ෆර් කරලා!”

මේක ඒ තරම් සසල වෙන්න හේතුවක් හැටියට මම දැක්කෙ නෑ.

“හදිස්සියෙන්ම? … මෑන් යන්න කැමතිද?”

මාමා මම අහපු ප්රශ්නෙට උත්තර දුන්නෙ නෑ.

“මිනිහට යන්ට දෙන්ට බෑ!”

මම එක සැරේම මොකුත් කිව්වෙ නෑ, මාමගෙ වචනේ ගැබ්වී තිබුන අදිෂ්ඨානය නිසා. අනික් අතට මාමගෙ ස්ථාවරය මට තේරුම් ගන්න අමාරුයි.

“මාමා ඉතින් අපිට මිනිහා අකමැත්තෙන් ගහක බැඳලා තියාගන්න බෑ නේ?”

“මිස්ට එදිරිසිංහ කැමති තව කාලයක් කුඩාගම ඉන්ට… හැබැයි ගමේ සමහරු බලන්නේ එයාව අයින් කරන්ට… පිටගම් කාරයා කියලා!’

මම හිනාව නවත්ත ගත්තේ අමාරුවෙන්.

“එයා පිටගම් කාරයා බව නම් ඇත්ත … මං හිතුවේ මිනිහා හොඳ ගුරුවරයෙක් කියලා? එහෙම තියෙද්දී ඇයි ගමේ අය මිනිහා එලවගන්න බලන්නේ?”

“පුතා දන්නවානේ අපෙ එවුන්? පරම්පරා හතරක් වත් ගමේ නෙවෙයි නම් පිටගම් කාරයෝ!”

අපි දෙන්නටම හිනා ගියා ඒකට. මාමා ඊලඟට කතාකළේ කෙලින්ම මා දිහා බලාගෙන.

“… නමුත් මං හිතන්නේ තවත් කාරණයක් තියෙනවා - දැනට වේයන්ගොඩ වැඩ කරන අපෙ ආරච්චි මහත්තයගෙ ලේලියකුට ඒ තනතුර දෙන්ට සමහරු බලාගෙන ඉන්නවා. ඒක මට තේරුම් ගන්ට පුළුවන්. මං දන්න තරමින් ඒ කරුනාවතී හොඳ කෙල්ල; ගමට ගෙන්න ගන්ට වටිනවා… නමුත් මිස්ට එදිරිසිංහත් ගමට බොහොම වටිනවා - එයා එළවලා කරුනාවතී ගෙන්න ගන්නවට මම කැමති නෑ”

“මාමට කොහොමද ඔය කුමන්ත්රණ ආරංචි වෙන්නේ? ගමේ අය දන්නවා මාමයි නැන්දයි දෙන්නම එදිරිසිංහට කැමතියි කියලා. එහෙම තියෙද්දී ගමේ කවුරුත් මේ ගැන හිටපු ලොකු මහත්තයට කියන්නේ ඒ කුමන්ත්රණේට විරුද්ධ අයත් ඉන්න නිසා නේද?”

ඒ සැරේ මාමා මා දිහා බැලුවේ ගුරුවරයෙක් සිසුවෙක් දිහා බලනවා වගේ.

“මම බැලුවේ ඉස්කෝලෙයි ගමෙයි සුභසිද්ධිය ගැන මිස කුමන්ත්රණයක පැත්තක් ගන්න නෙවෙයි. පුතා… හිටපු ලොකු මහත්තයෙක් හැටියට මට හැම පැත්තෙන්ම ආරංචි එනවා. හැබැයි අහෙන හැම දේ ගැනම යමක් කරන්ට ඕනැද නැද්ද කියලා මමයි තීරණයක් ගන්නේ… සමහරු මගෙන් උපදෙස් නැත්නම් උදව් බලාපොරොත්තු වෙනවා, සමහරු යම් යම් දේ මා ලවා කරවාගන්ට උත්සාහ කරනවා… හැබැයි එදත් අදත් මම කියන කරන දේ ගැන අන්තිම තීරණය ගත්තේ මම…”

මාමගෙ වචන නිශ්චිතයි - තර්ක කළ හැකි අදහස් නෑ.

“ඒ කියන්නේ මාමා සමහරවිට කිසිම දෙයක් නොකර ඉන්නත් තීරණය කරනවද?”

මාමා පොඩි නිහඬ තාවයකින් පස්සේ හෙමින් හිනාවුනා. කතාකළේ දරුවෙකුට කතා කරන් පියෙක් වගේ.

“දෙමව්පියෝ නාඋල හිටපු නිසා පුතාට ගමේ ඉස්කෝලේ ‘නාඋලා’ කියලා නම් වානම ලැබුනා කියලා මතකද?”

මටත් හිනා ගියා.

“මාමා දැනගෙන හිටියා ඒක? මං කවදාවත් හිතුවේ නෑ මාමා දන්නවා කියලා මං හිතුවේ ඒක දන්නේ මමයි නංගියි විතරයි කියලා!”

“පුතා… ඉස්කෝලේ ලොකු මහත්තයෙකුට නොදැනෙන්ට කිසිම දෙයක් වෙන්නෙ නෑ ඉස්කෝලේ කොයි මුල්ලකවත්… දැන් ගමේ වගේ… හැබැයි ඒ දැනීම පාවිච්චි වෙන්නේ පරෙස්සමෙන්. පුතාටයි නංගිටයි කරදරයක් නැති හින්දා ‘නාඋලා’ නම්වානම ගැන මොකුත් කරන්ට ඕන කමක් මම දැක්කෙ නෑ”

මම හැමදාම මාමට ගරුකළා ‘හොඳ මිනිහෙක්’ හැටියට. මගේ ‘නාඋලා’ නම පිළිබඳ ක්රියාකළ විදිහ නිසා මාමා ‘හොඳ’ නොවෙයි ‘ඉස්තරම් මිනිහෙක්’ කියලා මට හිතුනා. නමුත් මාමා නුවර ආවේ මා ගැන කතා කරන්න නෙවෙයි.

“ඉතින් මාමා මොකද කරන්න හිතාගෙන ඉන්නේ එදිරිසිංහගෙ ට්රාන්ස්ෆර් එක ගැන?’

………………………………….

එදිරිසිංහ ගැනවත් මාරුවීම් ගැනවත් සති තුනකින් කිසිම ආරංචියක් ලැබුනෙ නෑ මාමගෙන්. ඒ ගැන මට මතක් කළේ කමලා.

“ආයෙ ඉස්කෝල පටන්ගන්ට ඉස්සර අපි ගිහින් මාමයි නැන්දයි බලලා එමුද?”

“හ්ම්… හැබෑට කාලෙකින් සද්දයක් නෑ ගමෙන්”

“ඉතින් ඔයා කෝල්කළේ නැද්ද? අර එදිරිසිංහගෙ ට්රාන්ස්ෆර් එකට මොනවාවුනාද දන්නෙ නෑ”

“ෂඃ! මට ඒක සම්පූර්ණෙන්ම අමතකවුනා! එදා මාමා එඩියුකේශන් ඔෆිස් යනවා කියලා මෙහෙන් ගියේ - මං හිතන්නේ ඩිරෙක්ටර් හම්බවෙන්න… අදම කෝල් එකක් දීලා බලනවා…”

“එහෙනම් කියනවද අපි සෙනසුරාද එනවා කියලා,කරදරයක් නැත්තම්?”

සෙනසුරාදා ගමේ ගමනට නිලංතයි සිරිනියි දෙන්නත් ආවා, අප්රේල් ‘වල් ඌරු සිද්ධිය’ නිසා වෙන්න ඇති දෙන්නට ගමේ එන්න හිතුනේ. උදේ කමලගෙ අම්මගෙ ගෙදර නවත්තලා තේ බීලා ගමට එනකොට එකොලහත් පහුවෙලා.

මාමයි නැන්දයි පොඩ්ඩෝ දකින්න ආශාවෙන් සිටිබව තහවුරුකළේ කෑම මේසේ ගොඩගසා තිබූ රස කැවිලියි. කමලත් මාත් රස කැවිලි වලට ලොකු ඇල්මක් නැතිවුනත් නිලංතගෙයි සිරිනිගෙයි ‘රස කැවිලි සාගින්න’ ගැන නැන්දා දන්නවා.

“කෝ අයියා?”

“දැන් එයි. වත්ත පැත්තේ ගියා… තවම හිත හිතා ඉන්නවා මෙහෙ ගෙදරක් හදනවද නැද්ද කියලා… ඇවිද ඇවිද හොයනවා හොඳ තැනක්”

“ලොකුඅප්පච්චී ගෙදරක් හදන්නේ කොයි පැත්තෙද?”

සිරිනිගෙ ප්රශ්නෙට උත්තර දුන්නේ මාමා.

“අර එගොඩහේන කෑල්ලේ තමා හදන්ට අදහස… වැඩියම බලන්නේ අර ගල්ගුහාව තියෙන තැන… හැබෑට අපි තේ බෝතලේකුත් අරගෙන එතෙන්ට ගියොත් ලොක්කත් එක්ක තේ බිබී තැන බලන්ටත් පුළුවන්”

“කමක් නැද්ද අත්අම්මා?”

සිරිනී මෙහෙම අහනකොට ළමයි දෙන්නම මේසෙන් නැගිටලා යන්න ලෑස්ති වෙලා ඉවරයි. නැන්දත් හිනාවෙලා විනාඩි පහකින් රස කැවිලියි තේ බෝතල් දෙකකුයි පන් මල්ලකට දාලා මා අතට දුන්නා.

“කමලත් යනවද?”

“නෑ නැන්දා … ඔය පොඩි කට්ටියයි පොඩියි කියලා හිතන ලොකු කට්ටියයි ගිහින් ආවැයි!”

මටත් සතුටක් දැනුනා පුතයි දුවයි ගම ගැන පෙන්වන ඇල්මට. ඒ දෙන්නට ඉක්මනට යන්න පාර පෙන්නලා මාමයි මමයි ඇවිද්දේ හෙමින්.

“මොකද මාමා එදිරිසිංහගෙ වැඩේට වුනේ?”

“තවම හරියට විසඳුමක් නෑ… මම එදා නුවර ආපු වෙලාවේ අපෙ අධ්යක්ෂක හම්බවුනා - මිනිහයි මමයි එකට ටීචර් ට්රේනිං හිටියේ. මිනිහා ‘බලමුකෝ’ කිව්වට මට විශ්වාස නෑ. තවම කිසි ආරංචියක් නෑ. ඉස්කෝලේ පටන් ගන්ට ඉස්සර මිස්ට එදිරිසිංහට ට්රාන්ස්ෆර් ලියුම් ලැබෙයි. හැබැයි එයා ගමේ ගිහින් නිසා ඉස්කෝලෙන් කිව්වොත් මිස මට දැනගන්ට විදිහක් නෑ”

“එදිරිසිංහ මාමට කෝල් කරයි… නේද?”

“ඒක කියන්ට බෑ පුතා… මම අධ්යක්ෂක හම්බවෙන්ට ගිය කතාවක් එහෙම එයා දන්නෙ නෑ”

“එතකොට අපෙ ඉස්කෝලෙට එන්න බලාගෙන හිටපු ඉස්කෝල් නෝනා? අර කෝරලේ මහත්තයගෙ කවුදෝ කිව්වේ?’

“කරුනාවතී. ආරච්චි මහත්තයගෙ ලේලී. ඒ දරුවට දැනටම මාරු ලියුම් ඇවිල්ලා කියලා ආරච්චි මහත්තයා මට කිව්වේ”

මට මාමා ගැනයි එදිරිසිංහ ගැනයි කනගාටුයි. එදිරිසිංහ නැතිවීමේ පාඩුව මුළු ගමටම දැනෙයි වැඩි කල් යන්න ඉස්සර.

“ඒ කියන්නේ එදිරිසිංහට වැඩේ ගැස්සිලා ඉවරයි!”

ඒ සැරේ මාමා නැවතිලා කෙලින් මා දිහා බලාගෙන හිටියා විනාඩියක්.

“කරුනාවතියි එදිරිසිංහයි දෙන්නම තියාගන්ට ක්රමයක් තමා හොයාගන්ට ඕනෑ… එන සතියේ”

මාමයි මමයි ආයෙ එදිරිසිංහ ගැන කතාකළේ නෑ මුළු දවසටම. අධ්යාපන දෙපාර්තමේන්තුවේ වැඩ ගැන මම දන්නේ බොහෝම ටිකයි - එදිරිසිංහ ප්රශ්නේ විසඳන්න වෙන්නේ මාමටමයි.

අපි එගොඩහේනට එනකොට අයියයි නලිනුයි සිරිනියි ගල් පොත්ත උඩ වාඩිවෙලා කතාව. මම හිතුවේ අයියත් තවම හරි තීරණයක් අරගෙන නැති නිසා පලෑනක් අඳින්න තව කල් යයි කියලා.

“දැක්කද ලොකු අප්පච්චිගෙ ගෙදර? පදිංචි වෙන්න ඉන්නේ මේ ගල් පොත්තේ යටින් තියෙන ගුහාවේ කියලා දන්නවද?”

ළමයි දෙන්නා අයියා දැක්කේ වීරයෙක් හැටියට - ගල්ගුහාවේ ජීවත් වෙන් බව විශ්වාස නොකරත්.

“අපිට ඒක බලන්න පුළුවන්ද දැන්? ඒකේ සත්තු… වලස්සු එහෙම ඉන්නවද?”

සිරිනී ඇහුවේ මහත් උනන්දුවෙන්. නිලන්ත හිනාවුනා.

“ඒක ඒ තරමට ලොකු … ඕන නම් ඉත්තෑයෙක් ඉඳී. ටික්කා මට ඒක් පෙන්නුවා ගිය සැරේ ආවහම”

“වල්ඌරෝ නෑ?”

සිරිනිගෙ ප්රශ්නෙට නිලන්ත උත්තර දුන්නෙ නෑ - ටිකක් ගැස්සිලා සිරිනී දිහා බලලා බිම බලාගත්තා. අපි සේරටම තේරුනා එ පරණ සිද්ධිය නිලන්තට තවමත් වද දෙනවා කියලා. සිරිනී වටපිට බලලා නිහඬව ‘සොරි’ කියලා සංඥා කරා. අයියා වහාම වාතාවරන නිශ්චල කළා, තේ ඉල්ලලා.

“කොහෙද මේ දරුවෝ ලොකුඅප්පචිගෙ ඕනෑ එපාකම් බලන්නෙම නෑ! මගෙ දිව ගිලෙන්න යනවා - මේ දෙන්නා ගල්ගුහා වර්ග කරනවා! අපි තේ බීලා පහලට බැහැලා බලමු ඉත්තෑවෝ ඉන්නවද කියලා”

මට ඒ වෙලාවේ හිතුනා අයියත් මාමා වගේම දරුවන්ට කතා කරන්න දක්ෂයි කියලා.

………………………………..

ඉස්කෝල අලුත් වාර පටන්ගන්න ඉස්සර සතියක් විතර අපෙ ගෙදර කාර්ය බහුලයි. පොත් සාප්පු රෙදි සාප්පු සපත්තු කඩ වැනි දේ හැර ‘කෑම පැකට්’ වලට අවශ්ය දේත් ගැනෙන්නේ මේ සතියේ. මේ සැරේ ඊට අමතරව අයියත් රෑ දෙකක් අපෙ ගෙදර නැවතුනා කොළඹ යන්න ඉස්සර.

“ලොකුඅප්පච්චී ඇත්තටම ඒ ගල උඩ ගෙදර හදන්ටද ඉන්නේ?”

අපි රෑට කාලා තවම මේසේ වටේ වාඩිවෙලා හිටියේ.

“ඔවු දුව… ඔය ගල උඩ අපි කොච්චර සෙල්ලම් කරලා තියෙනවද නේද මලයා? මට පොඩි කාලේ තමා ආසාවක් හිතුනේ එතන ගෙදරක් හදන්න… දැන් මම තනියම ඉන්න එකේ කරන්න බැරිනම් කවදා කරන්නද? පාරට කිට්ටුයි, ඕන තරම් වතුර තියෙනවා. ලයිට් අදින්න අමාරුවක් නෑ…”

කමලට දුකයි අයියගෙ ‘තනියම ඉන්න’ කතාවට. නමුත් ඒකේ හොඳපැත්ත දකින්න උත්සාහ කළා, අක්රීයව ඉන්නවට වැඩිය ගෙදරක් හැදීමට ශ්රමය යෙදීමේ වටිනාකම මෙනෙහි කරලා. මම හිතුවේ මාමගෙයි නැන්දගෙයි ප්රතිචාරය ගැන. නිලන්ත මොකුත් කිව්වෙ නෑ - වල් ඌරු අත් දැකීම නිසා වෙන්න ඇති. සිරිනිට එහෙම ගැඹුරු සිතිවිලි ඕන නෑ.

“මං කියන්නද? ගල් තලාවේ කෑල්ලක් ඒ විදිහටම තිබ්බොත් නියමයි. අප්පච්චී ආපු දවසට ගල් උඩ පුටු දෙකක් තියාගෙන ඇල දිහා බලාගෙන ඉන්න… අරක්කු වීදුරුවකුත් අතේ තියාගෙන!”

“රිනී!”

කමලට ඒ අරක්කු කතාව ඇල්ලුවෙ නෑ. නමුත් අයියා හිනාවුනා.

“මම පුටු තුනක්ම තියනවා මෙ කෙල්ලටත් ඇවිත් අපිත් එක්ක තැඹිලි බොන්න!”

අපි නිදාගන්න ඉස්සර අයියා මට කතා කළා ඊලඟ දවස් කීපේ ගැන.

“මලයා… මම දවස් කීයක් කොළඹ නවතිනවද කියලා තවම හරියට දන්නෙ නෑ… සමහරවිට ගාල්ලෙත් ගිහින් තමා එන්නේ…”

“අයියගෙ හිතේ මොකද්දෝ තියෙනවා නේද?”

අයියා යන්ත හිනාවුනා.

“… මලයට පුළුවන්ද ගෙදර ගිහින් එන්න, වෙලා තිබුනොත්?”

“ප්රශ්නයක් නෙවෙයි. ඇයි මාමට හරි නැන්දට හරි ලෙඩක් එහෙමද?”

“එහෙමම එකක් නෑ… හැබැයි අප්පච්චී ටිකක් අප්සෙට් ගහලා වගේ ඉන්නේ…”

“ඔය අර එදිරිසිංහගෙ වැඩේ ගැනද?”

“ඒ වගේ… ඊයේ මිනිහා ඇවිත් අප්පච්චිත් එක්ක පැයක් විතර කතා කර කර හිටියා කන්තෝරු කාමරේ. ඊට පස්සේ තමා අප්පච්චී ලොකු කල්පනාවකින් වගේ නිතරම…”

“ඒ කියන්නේ එදිරිසිංහ ට්රාන්ස්ෆර් කරලා නෑ?”

“නැතිලු… මිනිහා ආයෙත් වැඩට ගමේ එනවා කියලා තමා අප්පච්චිට කියලා තියෙන්නේ”

මේක තව ටිකක් සොයලා බලන්න වටිනවා කියලා මට හිතුනා. ඉස්කෝල පටන්ගන්න සඳුදම ගමෙ යන්න මම පොරොන්දුවුනා.

………………………………..

“මාමා කොහොමද වැඩේ ශේප් කරේ? මං දන්නවා එඩියුකේශන් ඩිරෙක්ටර් මොකවත් කරන්න නැතුව ඇති කියලා”

මාමයි මමයි රෑ කෑමට ඉස්සර මාමගෙ කන්තෝරු කාමරේ පොඩි බීම වීදුරුවක් රස විඳිනවා. මම සඳුදා ගමේ ඇවිත් රෑ නවතින්න හිතුවේ අයියා නැති වෙලාවේ මාමලා අයියගෙ ගෙවල් හැදීම ගැන හිතන්නේ මොකද්ද කියලා අහගන්නයි. අයියා මට උපදෙස් දුන්නේ ඒ හේතුව දුන්නොත් මාමයි නැන්දයි දෙන්නම එක පයින් ඒකට කැමති වන බවයි. කිව්වා වගේම මාමයි නැන්දයි දෙන්නම හවස තේ වෙලාවේ ඒ අයගෙ අදහස් දැක්වුවා. දෙන්නගෙ අදහස් අයියට කියන්න කියලත් නැන්දා මගෙන් ඉල්ලා හිටියා.

ලොකුපුතා ගමේ ඒම ගැන මාමයි නැන්දයි ඉතාම සන්තෝසයි. ඒ වගේම ගමේ ගෙදරක් හඳන්න පෙළඹීම ගැනත් සතුටුයි. නැන්දා කැමතිවුනේ මහ ගෙදරට කිට්ටුවෙන් අලුත් ගෙයක් හදනවට - මහ ගෙදරම ඉන්න අකමැතිනම්. මාමා වඩාම කැමතිවුනේ එගොඩ හේනේ තැනටයි. ‘අන්තිමට ලොක්කගෙ කැමැත්තක් නේ’ කියලා නැනදා එකඟවුනේ. දෙන්නම නොකියා කිව්වේ ‘අපෙ එකෙක් ලඟ ඉන්න එක කොච්චර හයියක්ද?’ කියලා බව මට හොඳටම විශ්වාසයි.

අපි එදිරිසිංහ ගැන වැඩිය කතාකළේ නෑ - ගමේ නැවතීම ගැන සතුට ප්රකාශය හැර. නමුත් එදිරිසිංහගෙ මාරුව වෙන්ස්වුනේ කොහොමද කියලා දැනගන්න මට දැඩි ආශාවක් ඇතිවුනා. ඒ ප්රශ්නයට උත්තර මාමා ගෙන් ලබාගත හැකි බව මට තේරුනා. ඒ නිසාමයි මම රෑ කෑමට පෙර කන්තෝරු කාමරේදී මාමට ප්රශ්නය ඉදිරිපත් කළේ.

“පුතා කොහොම කියලද හිතන්නේ?”

මාමගෙ හිතේ කරදරකාරී සිතුවිලි ඇති බව මුහුණෙන් පෙනුනා.

“… අප්පුහාමී සම්බන්ධද?”

ඒ සැරේ මාමා ලොකු බීම උගුරක් අරගෙන තව එකක් වක්කර ගත්තේ මගෙ වීදුරුවත් පුරවලයි.

“මම අප්පුහාමී හම්බවුන බව ඇත්ත… ගිය බදාදා, අට්ටික්කා ගහ ලඟදී… මම මොකවත් කියන්ටත් ඉස්සර එයා කිව්වේ ‘මගෙ ගහට පස් දාපු එදිරිසිංහට ඇයි මම උදව් කරන්නේ?’ කියලා…”

“ඒකත් ඇත්ත තමා… හැබැයි මං හිතුවේ ඒ ගෝරිය ඉවරයි කියලා අර කවුදෝ බීලා හෙලුවෙන් නටපු කතාවෙන් පස්සේ!”

මාමටත් හිනා ගියා අරනෝලිස් මිස්ට එදිරිසිංහට එල්ල කරපු චෝදනාව මතක් වෙලා.

“ඒක එතනින් ඉවරවුනාට මිස්ට එදිරිසිංහට උදව් කරන්ට තරම් කිට්ටුවන්ත කමක් නෑ”

“හැබැයි මාමා අප්පුහාමිට ඒත්තු ගැන්නුවා එදිරිසිංහට උදව් කරන්න - හරිද?”

“මම අප්පුහාමිට පැහැදිළි කරලා දුන්නේ මිස්ට එදිරිසිංහ ගමට කොයි තරම් වැදගත්ද කියලා. අවුරුද්දකට වරක් කරන පූජාවත් අට්ටික්කා ගහ වටේට හොඳට සුද්ධ කරලා තියෙන්නෙත් මිස්ට එදිරිසිංහගේ කැපවීම නිසා බවත් මම මතක් කළා”

“අප්පුහාමී ටිකක් කල්පනා කරලා අපිට උදව් කරන්ට එකඟවුනා හැබැයි එක කොන්දේසියක් එක්ක - කවදාවත් අප්පුහාමිගෙන් අහන්ට එපා කියලා උදව් කරන හැටි”

මාමා යන්තම් හිනාව පෙන්නුවා.

“මම අප්පුහාමිගෙන් ඒ ගැන ඇහුවෙම නෑ - පොරොන්දුවුනා වගේ…”

“හබැයි මාමා දන්නවා නේද උදව් කරපු හැටි? හරි නේද?”

මාමා ආයෙත් හිනාවුනා.

“මම ඉස්සරවෙලත් කිව්ව නේද ඉස්කෝලෙක ලොකු මහත්තයෙකුට හැම තැනින්ම ප්රවුර්ති එනවා කියලා. අපිට නොදැනී කිසි දෙයක් වෙන්නෙ නෑ අපෙ ගමේ….”

“ඉතින් මොකද වුනේ?”

“හරියටම කියන්ට බෑ පුතා… අප්පුහාමී හම්බවුන දවසට පහුවදා, බ්රහස්පතින්දා, මට උදේ කෝල් එකක් ආවා අපෙ ඉස්කෝලේ ලොකු මහත්තයගෙන්. මිස්ට එදිරිසිංහයි කරුනාවතියි දෙන්නම ඉස්කෝලෙට අත්යාවශ්ය නිසා දෙන්නම තියාගන්ට අධ්යාපන අධ්යක්ෂක හමුවෙන්ට යනවා කියලා එයා කිව්වේ. මම හෙමීන් ඇහුවා කොහොමද හිත වෙනස්වුනේ කියලා - අපි දෙන්නා හොඳ යාළුවෝ. එයා කිව්වේ හිත වෙනස්කළේ හීනයක් දැකලා කියලා … ඒ වෙලාවේ මම වැඩිය ප්රශ්න අහන්ට ගියේ නෑ.. “

මාමා බීම උගුරක් අරගෙන හිනාවුනා.

“එදා හවස කෝල් එකක් ආවා අධ්යක්ෂකගෙන් - ‘උඹේ වැඩේ හරි!’ කියලා. මං එතකොට ඇහුවා ‘මොකද හීනයක්වත් දැක්කද හිත වෙනස් කරන්ට?’ කියලා. මිනිහා පුදුමවුනා මගෙ ප්රශ්නෙට. ‘කොහොමද ඒක දන්නේ? මම කිව්වා ගමේ ලොකු මහත්තයත් හීනයක් දැකලා තමා නුවර ආවේ කියලා. එතකොට අධ්යක්ෂක කිව්වා එයා දක්කෙත් ලොකු මහත්තයා දැකපු හීනෙමයි කියලා:
‘එදිරිසිංහයි කරුනාවතියි දෙන්නම නොවරදවාම කුඩාගමේ නවතින්ට ක්රියා කරන්ට - එහෙම කරලා ලොතරැයි ටිකට් එකක් ගන්ට’.

ඒකයි හීනෙන් කියලා තියෙන්නේ - දෙන්නටම!”

මාමටයි මටයි හොඳටම හිනා ගියා ඒ සැරේ.

“දෙන්නා ලොතරැයි දිනුවද මාමා?”

“මොන පිස්සුද පුතා! … හැබැයි හරි තීරණේ ගත්ත නිසා අපෙ ගම ලොතරැයියක් දිනුව කියලා දෙන්නම හිත සනසාගන්ට ඇති!