අඩිපාර

ඇඟට පහසු ලෙස ඇඳගෙන
පය සපත්තු දා රැකගෙන
මා තනියම යන මෙගමන
සිතට ගතට ඖෂධ මෙන

අව්වට තොප්පිය දාගෙන
මල්ල කරේ එල්ලා ගෙන
ඇඟ දහඩිය පිසදා ගෙන
සිත දහඩිය ගැන හිතමින

ගල් මුල් කටු පඳුරු පිරුණ
හිකැනැලි නයි කටුසු ගහණ
වියලි කැලේ මැදින් දිවෙන
පාර මගේ කුටිය මෙදින

පිටත් වෙලා යන වෙලාවෙ
හැමදේ හැකියයි හිතෙනව
විනාඩි විස්සකට පසුව
පෙණහලු “මට බෑ” කියනව

පැයක් ඉකුත් වෙනවා තව
කකුල්, දනිස් මැලි කරනව
වතුර බොන්න නවතිනවා
යන්න හදිසි නෑ කියනව
නවතින්නයි ගත කියනව
මුරන්ඩු හිත තව යනවා

තවත් පැයක් ගත වෙනවා
වේදන අමතක වෙනවා
හරඹෙන් ගත රත් වෙනවා
හුස්මෙන් පපුවම පිරෙනව
ඇඟ කකියා ලේ දුවනව
ගතේ බලය උච්ච වෙනව

නිදැල්ලෙ ඇඟ අවිදිනවා
නොසිතා පාලන වෙනවා
මනසට වැඩ අඩු වෙනවා
අන් දේවල් ගැන සිතනව

අළුත් පරශ්නයන් නැගෙනව
ඒවට උත්තර සොයනව
දුක සැප සිතලා බලනව
ලොව කරදර ගැන සිතනව
උපත් මරණ මෙනෙහි වෙනව
කුඩා කාලෙ මතක් වෙනව
අනාගතේ සිහි කරනව
වර්තමානෙ දිවි ගෙවනව
කලයුතු නැති දේ සිතනව
අවට පරිසරේ දකිනව
ගසක මලක හැඩ දකිනව
කුරුළු නාද පණ කවනව
මගෙ අඩි හඬ එක් කරනව
පරිසරෙ කොටසක් වෙනවා
මම පොලොවට එකතු වෙනව
පොලොව මාව පිලි ගන්නව

හිරු බැස ගොස් අඳුර ගලා
එනව ගමන නිම කරලා
මහ පාරක් දුර දැකලා
ඒවෙත ඇදෙනවා බලා

පාර අයිනෙ වාඩි වෙනව
වාහන එනතුරු ඉන්නව
කකුල් වේදනා දෙනවා
දනිස් දෙකත් වෙවුලනවා
පතුලේ දිය බුබුලු එනව
උරහිස් තැලිලා තියෙනව
දහඩිය ගඳ පැතිරෙනවා
දූවිල්ලෙන් නෑවෙනවා

ගත මේ මැසිවිලි කියනව
පොලවේ ඇලවී තියෙනව
සිත වලාකුලක් වෙනවා
අඳුරු අහසේ පාවෙනවා
උඩින් විශ්වයක් දකිනව
අනන්තෙ දක්වා යනවා
යටින් මැටි ගොඩක් තියෙනව
පොලව කියල උදම් වෙනව
කැලෑව තණ බිස්ස වෙනව
පාර නයෙක් සේ ඇදෙනව
මිනිස්සු කූඹියො වෙනවා
විශ්වය නොබලා ඉන්නව

අපගෙ සිරුර දුබල එකක්
විය හැකි මනසට හිරයක්
මැටි බෝලෙට කියා ලොවක්
මාංචුදා බැඳුන තැනක්

මේ මාංච් බිඳ දමන්න
පළවෙනි තැන සිතට දෙන්න
මනස නිදහසේ යවන්න
හැකිය විශ්වයම දකින්න