අපෙද නැද්ද
ඉස්කෝලේ මැච් බලලා එනකොට මා ගෙදර බලා
අපෙ ඉස්කෝලේ එකෙකුට අනික් එවුන් විහිලළු කලා
පත්තරේට ලිවුවා මම උන් සේරම කැත කරලා
අපෙ එකෙකුට වින කෙරුවොත් වදියි ඒක කැරැක විලා
ඕනැ මැච් එකක් බැලුවොත් දන්නේ මම එකම දෙයයි
අපි දිනුවොත් කතා වෙන්නෙ කන්ඩායමෙ හැකියාවයි
පැරදුනහොත් අපි කියනව අනික් එවුන් හොර කෙරුවයි
හොඳ නරකත් හොයා ගන්නෙ අපෙද නැද්ද යයි බලලයි
මගෙ මල්ලිගෙ මස්සිනාට අප්පුහාමියා ගහලා
උන් ගෙ ගෙදර උළු වහලෙට ගලකින් ගැහුවා කියලා
මම මල්ලිත් එක්ක ගිහින් ආව ඌට දෙකක් දීල
අපෙ එකෙකුට ගැහුවෝතින් වෙන්නෙ ඕක තමයි කියල
රස්සාවක් සොයා ගියත් අපේ කියල එකෙක් සොයමු
ලඟ දුර නෑකම් බලලා ඌට ගිහින් කතා කරමු
ලැබුනොත් රස්සාව එහෙම නෑකම තව දියුනු කරමු
හරි නොගියොත් “ඕකා අපෙ එකෙක් නෙවෙයි" කියා කියමු
ඡන්ද කාලෙ එනකොට මෙය තවත් වැඩිය බලපානව
ඡන්දෙ දෙන්නෙ අපෙ එකාට අනික් එවුන් හොර කරනව
උපක්රමෙන් හෝ අනිකුන් හරවාගන්නට බලනව
ඡන්දෙන් පස්සේ වැඩකට නැතිඋන් අමතක කරනව
රටක් ඇතුලෙ මෙහෙම වෙනව දැකලා කනගාටු වෙනව
ලෝකෙ පුරා රටවල් ගොං මිනිසුන් සේ හැසිරෙනවා
අපෙද නැද්ද කියල බලල යුද්දයටත් පැති ගන්නව
අපෙ උන් මැරුනොත් ඛේදය අනිකො මරා ජය ගන්නව
ටිකකට හිතලා බලන්න උන් ගෙ පැත්තෙ ඉන්න එවුන්
අපි කියනා දේම කියල ඉන්නව ඇති සන්තෝසෙන්
උන් දන්නව හරි පැත්තේ ඉන්නේ උන් පමන බැවින්
ජය නිසැකයි උන්ට මෙයින් සදාචාරෙ රැකගනිමින්
ගෝත්රයන් ඇති වූයේ සමූහයේ සුරැකීමට
ගෝත්රීක හැසිරීමෙන් නොහැකි තවම ගැල වෙන්නට
තම ගෙදරින් මුලු ලෝකෙට බෝවෙන මේ විෂබීජෙට
පුරුදු වෙන්න “අපෙද නැද්ද” වෙනස අයින් කර ගන්නට