අවංකයෙක්

සියලු ලෙසින් අවංක යයි කිවහැකි අය දුර්ලභ වෙයි
මගෙ ජීවිත කාලය තුල මුනගැසුනේ එවුන් එකයි
මිනිස් නොවන අනික් සත්තු අතර මෙවුන් හරි සුලභයි
නමුත් මෙසේ අවංකවන මනුස්සයෝ භයානකයි

මේ අවංක මනුස්සයට 'අප්පුහාමි ' කියල කියමු
ඇත්තම නම නොකියා අපි ජීවිතෙ උගෙ බේර ගනිමු
අප්පුහාමි කටේ බලෙන් කරන වැරැදි හොයල බලමු
ඕනෑනම් යහළු මිතුරො කට වහගෙන ඉන්න කියමු

හරක් මස් පිඟානෙ දැකල අප්පුහාමි මෙහෙම කිව්ව:

‘මේක ඊයෙ උගෙ පැටියත් එක්ක වෙලේ වල් කෑවා
ඌව කපල ලේ හලලා බඩවැල් හං අයින් කෙරුව
කුට්ටි පිටින් එල්ල තිබිල කාසි පනම් දී ගෙනාව
චූටි කෑලි වලට කපල හරිම රසයි කියල කෑව’

‘ගානක් දී ටක් ගාලා වැඩේ උනා’ කිවු එක ගැන:

‘තමාගෙ යහපත බලලා දුප්පත් අය කිලිටි කරන
කෙනෙකුට බෑ ඊට පස්සෙ බණ කියන්න පගාව ගැන
වැදගත් වන්නේ මෙතනදි නෙවෙයි ගත්ත දුන්න ගණන
රටේ පගා වසංගතේ ඔහුට ලැබේ මූළික තැන

වත්තේ කොල අතුගාලා ගිනිබත් කරනව දුටුවිට:

‘මගෙ වත්තේ මම කළදේ ගැන ඇයි ඔබ කළේ ප්රශ්න
ආකාසෙට කසළ දමා සුලඟෙන් එය විසුරු වන්න
එහා වත්තෙ ඉන්න ඔබට බැරි උනාට හුස්ම ගන්න
මගෙ ඉඩමේ සුන්දරබව මට වැදගත් තියා ගන්න

දුම් බීමේ වරදක් නෑ කියල කියන කියුම් අසා:

‘ඔළුව වැල්ලෙ සඟවාගෙන ඉන්නව ඇත්තක් නොඅසා
දුම්කොල කොම්පැනි තරකර තමාගේම ඇඟ කෙලෙසා
තම ජීවිතෙ කොම්පැනියේ යුද්දෙට සොල්දාදු ලෙසා
පුදනව වෙනුවට නරකද හිත යෙදුවොත් පවුල දෙසා

ශබ්ද විකාශනයෙන් සෙත් පිරිත් පාන්දර ඇහිලා:

‘පිරිත් අහන්නට කැමැත්තො තම භක්තිය පෙන්වාලා
අහපුවාවෙ ඕනැ දෙයක් අපිට නිදා ගන්න දීල
ආගම හොඳ දෙයක් උනත් පොවන්න බෑ බල කරලා
මේව නවත්තලා දාමු අනික් අය ගැනත් හිතලා’

‘කුනු කොල්ලෙට ගත්තෙ මේක ඒ ගොනාට නෑ මොලයක්’:

‘වටින කමට අඩුවෙන් ගානක් ගෙවනා කෙනා හොරෙක්
වටින කමට වැඩියෙන් ඉල්ලුවොත් එතන තවක් එකෙක්
වෙළඳාමෙන් ලාබ ලබන එකේ නැති උනත් වරදක්
පුරසාරම් දොඩන්නෙ ඇයි හොරකම් කෙරුවාට යමක්’

ආන්ඩුවේ හොඳ කියනා කෙනෙක්ගෙ දෙශන දේ අහලා

‘පිටට ඔපේ පෙනෙන දේට සංවර්ධනයයි කියලා
ගොඩනගලා සිහින ලොවක් ලොව පුරාම ණය වීලා
කොහොම නීච වැඩ කෙරුවත් නෑනේ දඩුවම් දීලා
ඡන්දෙ දීපු මෝඩයො අපි ඉන්නේ දැන් කෙල වීලා’

ආංඩුවේ වැරදි එකතු කරල කියන කෙනෙක් අහල

‘වැරැදිත් වෙන බව ඇත්තයි ගන්නට ඕනෑ හදලා
නමුත් කරන හොඳ දේවල් ඇයි ඒ අමතක කරලා
අපි තෝරපු ආංඩුවක අපි වගේම උන් පිරිලා
උන් හදන්න හැකිවෙන්නේ පළමුවෙන්ම අපි හැදිලා’

පැහැදිළි ලෙස මට පෙනෙනව අප්පුහාමි භයානකයි
නෑදෑයෝ යාළුවෝද ගෙදර අයද කෝප කරයි
රටට ආංඩුවට මේව ඇහුනොත් ඒකා ඉවරයි
එනිසා අපි අප්පුහාමි පිස්සන් කොටුවට යැව්වයි