අහස් මාලිගා

තමන්ගේම ඉඩමෙ උනත් පොඩි ගෙදරක් අටව ගන්න
ඕනැ වෙනව එක එක ජාතියෙ බාස්ල සොයා ගන්න
තේරිල මට බෑ කියලා තනියම ගෙදරක් හදන්න
හිතුවා ඒ වෙනුවට මම අහසෙ මාලිගා හදන්න

සිමෙන්ති ගඩොලෙන් හදනා ගේ පොඩ්ඩක් වගේ නොවෙයි
මගේ අහස් මාලිගවල මුළු ලෝකෙම ඇතුලත් වෙයි
එහි සිදුවෙන හැමදෙයක්ම මගේ අණට කීකරුවෙයි
ඇඳේ ඉඳන් හිතෙන ඕනැ දෙයක් කිරීමට හැකි වෙයි

මට මතකයි එංගලන්තෙ එක්ක ගහපු ටෙස්ට් තරඟය
ඇඟිලි කැඩි නිසා දොස්තර එපා කිව්ව පිති හරනය
බලෙන් බැස්ස මම පිටියට බේරන්න රටේ නාමය
එකතින් හැත්තෑවක් ගෙන විකට්ටුවෙන් ගත්තා ජය

කඳුකරයේ වැස්ස කාලෙ ගම්මානෙක මම ඉන්නව
උදේ පාරෙ ඇවිදිනකොට අමුතු දිය රැලක් දකිනව
බෑවුමෙ ඇති ගල් අතරින් එන ජලයේ සැර මනිනව
විනාඩි තිහකින් නායක් යනබව සහතික වෙනවා
ආ බසයක් නවත්තලා මගියන් ඇදලා ගන්නව
අනතුරු හඟවා ගමටම පනිවිඩ උන් අතෙ යවනව
රියදුරු මහතා පොලිසිය සහ රෝහල වෙත යවනව
සයිකලයත් බිමදාලා වතුරෙ මිනුම් මම ගන්නව
ගම්මුන් බේරුන කියලා හූ හඬ නැගිලා එනවා
සයිකලෙ නැගිලා පදිනව නාය පිටිපසින් එනවා
ගැමියෝ රජයේ ඈයෝ මට ගෞරව පෙන්වනවා
වැඩ වැඩී කියා නොනැවති මම සයිකලෙ ගෙදර එනව

සහාසිකයො නගරේ මැද ආයුද ගෙන ඇවිදිනවා
උන්ගෙ ලොක්ක පිස්තෝලය අතට අරන් එය වනනව
අහිංසකයො දුව පනිනව පොඩි එව්වො හිමින් අඬනව
පොලිසියෙ අය පෙනෙන්න්ට නෑ තත්වෙ භයානක වෙනවා
සන්සුන් ලෙස උන්ගෙ ලොක්ක ලඟටම මම ඇවිදිනවා
ඇඟිල්ල මූනට ඇනලා බොහොම හිමින් මම කියනව
“එකම වචනයක් කිව්වොත් උඹෙ ජීවිතෙ ඉවර වෙනව
ජෝසෆ්ලගෙ කල්ලිය තොපි වටකරගෙන දැන් ඉන්නව
සද්ද නැතුව අපි ඔක්කම කෙරුවෙ විහිළුවක් කියනව
පොලිසිය එන්නට ඉස්සර අපි දැන් විසිරී යනවා”
නඩේ ලොක්ක සේරටම ඇහෙනා විදිහට කියනව
“කැමර ඇවිල්ලා නෑ අද බයිස්කෝප් හෙට හදනව”

Thurber ලේඛකයා ගේ Mitty නැමැත්තගෙ කතාව
තව මතකයි කියවනවා පනස් වසරකටත් පසුව
තොටවත්තගෙ ‘පික්චර් පිස්සා’ ටිකකට පස්සෙ ආව
මේ දෙකෙන්ම පෙන්වූයේ මා වගෙ උන් බව හිතෙන

අහස් මාලිගා සැදීම අපි සේරම කරන දෙයක්
නොකරනවයි කියන ඈයො දෙසාබාන්නේ බොරුවක්
හිතීමෙ සීමාව ඇතොත් වටකොට හැකිදේ පමනක්
තවමත් අපි සොයමින් ඇති ලගින්න නොතෙමෙන බෙනයක්