අළුත් අවුරුදු අධිෂ්ඨාන
නව වසරත් ලඟ එනවා
කලයුතු දේ මම දන්නව
‘නරක’ පුරුදු අත හරිනව
‘හොඳ’ දේ පමනක් කරනව
හැම වසරෙම මෙය වෙනවා
අධිෂ්ඨාන ගොඩ ගැහෙනව
දිග ලේඛනයක් ලියනව
සතියෙන් මම පැරදෙනවා
මොලේ දියුනු නෑදෑයෙක්
කිව්වා මට මෙහෙම දෙයක්
“ලියන්න හැකිදේ පමනක්
ඇති කරන්න සීමාවක්”
පිළිගෙන නව විකල්පයක්
හැදුවා නව ලැයිස්තුවක්
කුසල් කර්ම එකතු කරමි (ලොවේ සැමට පෙනෙන කලේ)
පාප කර්ම වල නොයෙදෙමි (ප්රේක්ෂකයො සිටින කලේ)
මාංස භක්ශන නොකරමි (වේල් දෙකක් අතර තුරේ)
මත්පැන් පානය නොකරමි (බොන්න බැරිය සිතුන කලේ)
මගේ පරිසරය රැක දෙමි (එයින් ලාබ ලබන කලේ)
රටත් ජාතියත් රැක දෙමි (ක්රියා නැතත් කතික බලේ)
ත්යාගශීලී වෙන්නෙමි (මටම පාඩු නොවෙන කලේ)
පගා නොදෙමි, ඒ නොගනිමි (සාක්කියට ඉන්න වෙලේ)
අනුන් විවේචන නොකරමි (නිදි සුවයෙන් ඉන්න කලේ)
දෙමවු පියෝ බලා ගනිමි (ඉඩම් ලියල නැති කාලේ)
දරුවට යහමග පෙන්වමි (ඒ මග මා මැවූ කලේ)
යහපත් ජීවිතේ ගෙවමි (ගනන ටිකක් අඩු කාලේ)
අනාගතය මෙනෙහි කරමි
දුෂ්කර කර්තව්‍ය දකිමි
යුතුකම මගෙ හොඳින් දනිමි
මේවර නම් යුද්දෙ දිනමි!