ඉනිමං ගහ

වැඩක් කෙරෙන ඕන තැනක
ඉන්නව ලොක්කොයි පුංචොයි
පුංචොන්ගේ කර උඩ සිට
විහිළු කරන උන් ලොක්කොයි

පුංචො හුඟක් වැඩි වෙනකොට
එක ලොක්කෙක් මදි වෙනවා
ලොක්කාගෙ මොලේ යොදල
පොඩි ලොක්කෝ පත්කරනව

පුංචො උඩින් පොඩි ලොක්කෝ
උන්ට උඩින් මහ ලොක්කෝ
හැබැයි ඌට උඩින් තවත්
ඇති ඉතාම ලොකු ලොක්කෝ

පොතපතෙ මේකට කියන්නෙ
ධූරාවලියයි කියලා
ශුද්ධ සිංහලයෙන් කියන්නෙ
වඳුරො ඉන්න ගහක් කියල

හැම අත්තෙම ඉන්න වඳුරො
තවත් උඩින් අතු බලනව
පැන ගන්නට හැකි වූවොත්
රජකම ලැබුවයි හිතනව

ලේසියෙන්ම උඩ නගින්ට
සමහරු ඉනිමං ගේනව
නෑයෝ සහ යාලු මිත්‍ර
ලොක්කෝ ඉනිමං බෙදනව

ඉනිමං අතරෙත් නිතරම
තරඟ දබර ඇතිවෙනවා
ඉනිමං වැඩි වෙන්න වෙන්න
ගහ බරවී අතු හැලෙනව

අතු කැඩිලා තැනින් තැනින්
නගින්න බෑ පෙර විදිහට
ඉනිමං ඇත්තෝ විතරයි
ඉහල යන්නෙ අන්තිමේට

ගහේ තිබුනෙ හොඳ ගතිගුන
ලොකු වඳුරෝ වනසනවා
මුං නවගුණ වැල දමුවොත්
ඇති නවගුණ වැලපෙනවා