උන විකාර

උන හැදිලා පැදුරෙ වැටිල
ඉන්නව මම ගෙදර පිලේ
පවුල දීපු ලුනු කැඳ ටික
තවම නෑනෙ ඉවර කලේ

කවුද එකෙක් මගේ හන්දි
වලට ඇවිත් ඇන ගහනව
තවත් එකෙක් කුලුගෙඩියෙන්
මගෙ ඔලුවේ ගල් කඩනව

දිමියො රැලක් බිත්ති දිගේ
ඇසල පෙරහැරක් යනවා
ඇස්දෙක වැහුවෝතින් මට
තවත් ලෝකයක් පෙනෙනව

වේදිකාව මත නැගලා
කෙනෙක් සැරෙන් කෑගහනව
මුහුන නැතත් පැහැදිලියට
කටහඬ හොඳටම ඇහෙනව

එයා කියන විදිහට මුලු
ලෝකේ මහ වැරදි ගොඩයි
ඒකට ඇති හේතුව නම්
අනික් අයගෙ වැරදි තමයි

සන්තෝසය සතුට ගන්න
එයා කියන දේ අහන්න
අනික් අයට මේ දේවල්
තේරෙන්නේ නෑ මලාට

ශාලාවේ ඉන්න සෙනග
හිටගෙන අප්පුඩි ගහනව
පන දෙන්නත් ලෑස්ති උන්
දෙයියොද මේ වේදිකාව

කතා කෙරුවෙ ගුරු කෙනෙක්ද
ආගම හෝ ආන්ඩුවද
කලාව හා විද්යාව
ගැන දන්නා දක්ෂයෙක්ද

මොකා උනත් කියපු දේක
හරයක් කොහෙවත් පෙනුනද
ශාලාවේ හිටපු අයට
මටත් වැඩිය උන තිබුනද

බිත්තියෙ ගිය දිමි රැලටත්
මීට වැඩිය මොලේ හොඳද
ලුනුකැඳ මට ඊට වැඩිය
සුවයක් ලබලා දෙනවද