උදේ කෑම
රන්මැනිකා හදන රොටී දැක්කත් මගෙ බඩ පිරෙනව
හැදුන ගමන් උණු උණුවේ එක එක මේසෙට එවනව
හදා තියෙන සම්බලයත් එක්ක අනාගෙන කනවා
මෙහෙම සරල කෑමක් මේ තරමට රස ඇයි හිතෙනව
සරල කියල මම හිතුවේ වෙන කවුරුත් ඉවු නිසාද
විනාඩි දහයෙන් කෑවට ලෑස්තියට පැය කීයද
රොටී සැදීමට ඕනෑ අමු ද්රව්ය ගැන හිතුවද
ඒවා කුස්සියට ගන්න කොපමන අය සම්බන්ධද
මඩකලපුවෙ කුඹුරු යාය පිරිලා නිල්වන් ගොයමින්
බීජ වියට පොහොර වතුර හිරු රැස් ලැබිලා යහමින්
ගොවියාගේ පරිශ්රමය සාර්ථකව නිම වූයෙන්
රොටියෙ හාල් පිටි ආවා මේ යායේ රන් කරලින්
ලංකාවේ තිරිඟු නැති නිසා ඒ පිටි එන්නෙ රටින්
ඉන්දියාව වගෙ රටකින් පටවල එවනවා නැවෙන්
ගමන පටන් ගත්තත් හාලේ පිටියට වැඩිය දුරින්
‘පාන් පිටි’ කියා ඒවා ගන්නේ අපි ලඟම කඩෙන්
පුත්තලමේ ලේවායෙන් ලුනු කඩලා ගිනි අව්වේ
පිරිසිදු කර මිටි බැඳලා ලොරියෙ නංවලා එව්වේ
පොල් නම් අපෙ ගමෙන් තමයි ගෙදරදිමයි ලෙලි ගැහුවේ
සම්බලේට සහ රොටියට ඇති වෙන්නයි අද ගෑවේ
සම්බලේට වියලි මිරිස් ලූනු ආවේ යාපනයෙන්
ගේ පිටිපස දෙහි හැදෙනව ඒව ආවෙ නෑ පිටතින්
රොටී පුච්චලා ගන්නට ගෑස් ආවෙ පිට රටකින්
පදමට මේ සියල්ල එක්වෙන්නේ රන්මැනික අතින්
කාලා මගෙ උදේ කෑම පින් දෙන්නේ කාටද මම
භෝග වවන ගොවියන්ටද
පොහොර හදන මිනිසුන්ටද
වතුර බෙදා දෙන අයටද
ලොරි නැව් එලවන උන්ටද
ඒවට තෙල් දෙන අයටද
කඩ සාප්පු වෙළඳුන්ටද
නෙක නෙක කම්කරුවන්ටද
කෑම හදන රන්මැනිකද
තවත් මෙහෙම කීදෙනෙක්ද
මේ ගැන හිතලා බලලා අන්තිම තීරනයයි මෙම
කෑමට ඇරයුම් කල මගෙ නෑයන්ටයි වඳින්නෙ මම