උයන්ගොව්වෝ
අපෙ ගෙදරට ටිකක් දුරින් තියෙනව ලස්සන නිවසක්
නවීන පන්නයට සැදූ ගේ පෙනෙන්ට නෑ අඩුවක්
කලාත්මක ලෙස පාටින් ඔපවත් කල මන්දිරයක්
වටකර තිබුනේ උචිතව සුන්දර මල්බර ඉඩමක්
පාර දිගේ යනවිට මම දකිනව මේ ගෙදර ඉන්නො
දෙමාපියෝ වැඩ නැතිවිට ගෙදර නෙවෙයි ඉඩමේ ඉන්නො
පුතයි දුවයි බලු පැටියයි හවසට සෙල්ලම් කරන්නො
සති අන්තයෙ මුලු පවුලම මල් වත්තෙම වැඩ කරන්නො
දවසක් එතනින් යනකොට නෝනා මට කතා කෙරුව
අලුත ගෙනා පැල වගයක් පෙන්වා ඒ ගැන කිව්වා
පඳුරක හොද හැඩයක් ගන්නා හැටියත් පෙන් වූවා
ගඟවැරැල්ල පඳුරක් දක්වා මේ ලෙස ඈ කිව්වා
“මේකේ යට අතු කපනව
දිගම එව්ව ඇද බඳිනව
සමහර අතු බිඳ නමනව
කැමතිම හැඩයට හදනව
නිකම්ම තිබුනොත් මේවා
කැලේ ගස් වගේ හැදෙනව
හොඳ හැඩයට නැති ඒව
වහාම කපලා දමනව”
මගේ ඉඩමෙ ගස් සංසන්දන කෙරුවොත් පෙනෙනව වෙනසක්
මම නෑ ගස් වලට මගේ දෙන්නේ මේ වගෙ වදයක්
මගෙ ගස් හැදෙනව බලලා පරිසරයෙන් දෙන අනයක්
මම ඇයි ගස් මිරිකන්නේ හදන්න මට රිසි හැඩයක්
මහත්තයයි දරු දෙන්නයි ඒවිට වත්තට ආවා
හතර දෙනා එකට දකින විට මගෙ ඇඟ වෙවුලූවා
වයසෙන් මිස පරම්පරා දෙකෙ වෙනසක් නැති වූවා
වැඩිහිටි අයගේ අනුරුව දරුවන්ගෙන් පෙන්වූවා
මට පෙනෙන්නෙ මේ අයගේ ලමයි වත්තෙ ගස් වාගේ
අදහස් කප්පාදු කරල සිතුවිලි නම්මලා වගේ
බාසාවත් හැසිරීමත් කම්බි දමා බැඳල වගේ
අදීනත්ව බිඳ දාලා පිටත යන්න බෑ වාගේ
මේ දරුවෝ ලොකු උනාම දෙමවුපියෝ වගේම වෙයි
කලබල නොකරන හන්දා පරණ පුරුදු නොවෙනස් වෙයි
නව අදහස් නැති නිසාම පාලකයෝ වැලඳ ගනියි
පරම්පරා ගත උනාට කිසිම දියුනුවක් නොම වෙයි
ළමා මනස පෝෂණ වී දියුනු කරන පොහොර දෙන්න
ජීවිත ගමනට සරිලන ජලය අව්ව පස සදන්න
අදහස් අතු බැඳල නමල බෑ මැනෙවින් වවා ගන්න
විලංගු වෙනුවට අද සිට අත්වැල් පමනක් බඳින්න
දරුවන් අපි වගෙ නොවීම සතුටක් බව සිහි කරන්න
එන පරපුර අපි ඉක්මව යායුතු බව හිතට ගන්න