කරදර

හොඳට ඇඳල වැඩට යන්න ඉන්නා විට මඩ ඉහෙනව
බස්සෙක පිරිලා තදවෙල අකුලපු කුඩ මගෙ ඇනෙනව
බැහැපුගමන් දියබත්, ගව ගාල වගේ කන්තෝරුව
වැස්සෙ තියපු පඹයො වගේ අපි අපෙ රස්සා කරනව
ගෙදරදි සරමට බැහැලා ඇඳපු අඳුම් සෝදනවා
සේදූ රෙදි වැලේ දමා ගෙට එනකොට වැස්ස එනව
වහලේ හිල් වලින් එවිත් බාල්දි වතුරෙන් පිරෙනව
වැස්ස කාලෙ ගෙදරත් රස්සාවත් මට එපා වෙනව

වැහි ඉවරයි අව්ව සැරයි විඩාව හොඳටම දැනෙනව
බස් එකෙ නැගලා සැමගේ දාඩිය හුස්මට ගන්නව
දූවිලි සහ ඉංදන ගඳ පෙනැහැලි මගෙ පුරවනවා
ගෙදර ආව කියලා නෑ ඉර දිගටම වද දෙනවා
ලිඳ හිඳිලා වතුර නැතුව කොරටුවෙ එළවලු මැරෙනව
ඇඟ වේලිල දාර වැටිල විලිඹු පැලිල වද දෙනවා
කාල ගුණේ හේතුවෙන්ද ගෙදර අයට තරහ යනව
ඉඩෝර කාලේ මෙහෙමයි ලෝකෙම මට එපා වෙනව

අවුරුදු විස්සකට වැඩිය මගෙ මැසිවිලි එපා වෙලා
මගෙ දරුවෝ පොතක් දුන්න මට කියවන්නට කියලා
ඒක හොයාගෙන තියෙන්නෙ අන්තර්ජාලෙන් බලලා
මට පුදුමෙ පොත ගත්තේ ඒගොල්ලම සල්ලි ගෙවල
මුලු ලෝකෙම ජීවත්වෙන ජනයා ගැන එහි ලියලා
මට විතරක් නොවෙයි ලෝකෙ හැමටම කරදර ජාලා

‘ඉනුඉට්’ ජනයා ඉන්නව උත්තර ඪ්රැවයේ පාඋල
ඉග්ලු කියල අයිස් ගෙවල් වල නිදනව වෙවුල වෙවුල
එළවලු පලතුරු පරිප්පු හාල් නැතුව කෑම හොයල
මාස ගනන් අව්ව නැතුව ගඳ ඇති ඇඟ නෑ සෝදල

කාන්තාර වල ඉන්නව ‘බෙඩුඉන්’ කියලා කොටසක්
ගහක් කොලක් නෑ දකින්න හතර වටේ වැලි කතරක්
වතුර තියෙන කුණාටු නැති නවතින්නට සොයා තැනක්
කූඩාරම ලඟ උයනව වැලි නොවැටී කන්න දෙයක්

මේ දෙගොල්ල සමහරවිට කරදර කියලා අඬනව
ඉන්න තත්වෙ බලපුවාම අඬන්න හොඳටම වටිනව
සංසන්දන කර බැලුවොත් මගෙ කරදර එක්ක මේව
වැරැද්ද වැස්සෙයි අව්වෙයි නොවෙයි කියල මට හිතෙනව

මම අදිටන් කෙරුව එදා අතහරින්න මගෙ කරදර
එය කරන්න හදා ගත්ත මම ගන්නා නව පියවර

මට කලහැකි දේ බලලා ඒ ටික මම කරගන්නව
තෙමෙනවාට කුඩ ගන්නව
කලින් බස් එකෙන් යනවා
නැත්තන් මම පයින් යනව
වහලේ හදලා දානව
ඇඳුමක් මිලදී ගන්නව
ලිද තව ගැඹුරට බිඳිනව
ගඟෙන් වතුර ඇද ගන්නව
ලෙඩට හරි බෙහෙත් ගන්නව
සෞක්ය මගෙ රැකගන්නව

කරන්න බැරි දේ ඇත්නම් ඇති තත්වය පිලිගන්නව
වැස්ස කාලෙ ගැන දන්නව
වතුර තෙත බවත් දන්නව
අව්වේ සැර ගැන දන්නව
දාඩිය ගඳ පිළිගන්නව

කලහැකි දේ ඉවර කරල නොකල හැකිදෙ පිළිගන්නව
දෙකටම නැති දේවල් ගැන මං මගෙ කට වහගන්නව