කවි කොරටුව
වයසට විශ්රාම අරන් නිකන් ඉන්න මට බැරි බව
වැටහිල කාලය ගෙවන්න පටන් ගත්ත මම වගාව
බැරි පුළුවන් කම් සලකා වවන භෝගයන් තේරුව
එළවලු ඇට වෙනුවට මම අදහස් ඇට පැල කෙරුවා
ලැබිලා ඇට වැපුරු පසට රෑට වැස්ස දවල් අව්ව
එළි දැක්කා වෛවාරන කවි ගොන්නක් මා නොහිතුව
එළි සමයේ මහන්සියෙන් බැඳි එළි වැට බිඳ දමලා
පර පරාගණෙන් අමුතුම කවි වගයක් බිහි වීලා
සමාජයෙත් භාශාවෙත් නීති රීති කඩ කරලා
ඇති මේ කවි නැති කෙරුවොත් හිටි හැකි මට කන ඇහිලා
පළමුවෙන්ම පෙනෙන්නෙ මට පලසක් සේ ‘ගොටුකොල කවි’
අවට පොලවෙ විශමතාව අනුවම හැඩ ගැහෙනා කවි
කිසිකෙනෙකුගෙ හිත නොරිද්ද තමාගෙ පාඩුවෙ ඉඳීවි
නෑ කලබල, නෑ අදහස්, නෑ කිසිවක්, බිම සිඹීවි
ඊට විරුද්ද්ව ඉන්නව උස මහතට ‘තම්පල කවි’
‘මා දිහ බලපන්’ කියනා පාට පාට උඬගුම කවි
අනික් අයට කතා නොකර කොන්ද කෙලින් කර ඉඳීවි
කරමල් සේ මල් අදහස් ලොවට පෙනෙන්නට තියාවි
මේ දෙන්නා මැද්දෙන් ඉන්නව කටු ඇති ‘එළබටු කවි’
තමාගෙ උවමන ගනනට උස මහතින් හැදෙනා කවි
පොඩි මල් සහ වටකුරු ගෙඩි වලින් සැරසිලා ඉඳීවි
කටු ගොන්නට කිට්ටු උනොත් මොහුගේ සැර මතක් වේවි
කොඳු ඇට නැති බව පෙනෙනව මේවා වෙයි ‘පතෝල කවි’
උගන්නන්ට බෑ ඒවට පිළිල වගේ ඉන්නා කවි
වෙන කාගෙදො අදහස්වල එල්ලී බැඳිලා ඉඳීවි
තමාගෙ අදහස් උදහස් අහසේ යනවා පාවී
හිතලා වැවුවේ නැතුවට තියෙනව මට ‘ තුත්තිරි කවි’
කිසි හරයක් තේමාවක් හෝ තනුවක් නැතිවූ කවි
‘රැප්’ කවි ගනයට වැටෙනා මේවා කොනකින් ඉඳීවි
නමුත් ලඟින් යන හැමෝගෙ මතකයෙ මේවා රැඳේවි
මගෙ කොරටුවෙ හදන්න මට හිතෙනව තව එක එක කවි
පාතාලෙට ‘වැල් අල කවි’
පොලීසියට ‘වැටකොලු කවි’
ගමේ අයට ‘තිබ්බටු කවි’
නගරෙ අයට ‘සලාද කවි’
ලිස්සන්නට ‘බන්ඩක්කවි’
නින්ද යන්න ‘නිදිකුම් කවි’
හරි ගියහොත් මෙය වැදගත් වර්ගීකරණෙට අන් කවි