කවුළු තුලින්

ඉර බැහැලා හවස් වෙලා
මුලු පලාත අඳුරු වෙලා
ලෝකෙම නිශ්බ්ද වෙලා
රැහැයි නාද රජ වීලා
දවාලෙ උනුසුම නිවිලා
රාජකාරි ඉවර වෙලා
ගඟ බඩ ගෙදරට වීලා
ඉන්නව මම එගොඩ බලා

අඳුර තුලින් ගස් අතරින්
මිනිස් වාස කවුළු තුලින්
පෙනේ එළිය තැනින් තැනින්
අඳුරු පසුබිමක් මතුවෙන්
එය දකින්නෙ නෙත් යුගලෙන්
මිණිකැට හෙබු සාටක මෙන්

පිටිපස හැම මිණි කැටයක්
ඇති පවුලක නිවාසයක්
හැම පවුලට අයිති දෙයක්
ගති ගුණ ලොකු මිශ්රණයක්

ඉගෙනීමෙන් නැගසිටි අය
අද්යාපන නොලැබූ අය
සහජ දක්ශතා ඇති අය
කිසිදේකට නොසමත් අය
නිරෝගීව වැජඹෙන අය
ලෙඩ ගානේ ඉන්නා අය
මුදල් වලින් පොහොසත් අය
මුදල් නැතිව දුප්පත් අය
සැදැහ වත්තු සිල්ගත් අය
සතුන් මරා පවුකල අය
අනිකුන් ගැන බලනා අය
තමා ගැනම සිතනා අය
කරුණාවෙන් දිවි ගෙවු අය
කෲර කුහක ලෙස හිටි අය
ජනලෙන් පිට බලනා අය
කුස්සියෙ සැංගී හිටි අය

මේ ගතිගුණ මිශ්ර කරල
අනලා මිරිකලා හිඳල
හැදු කසාය කොටස් කරල
මුලු ගමටම බෙදා දීල

දක්ශ ලෙඩ්ඩු සිල්ගත් අය
කුහක උගත් අසමත් අය
නිරොගි පවුකල දුගි අය
දනපති දානය දෙන අය
කවුළුවට මුවාවූ අය
ගති ගුණ අච්චාරු හැලිය

ගඟේ මෙගොඩ මම ඉන්නේ
එළි පමනයි මට පෙනෙන්නෙ
නෑ මට අච්චාරු ඕනෙ
මිණි සාටක මට වටින්නෙ