කළුගල් තලාලයි
කොන්තරක්කුවක් ලැබිලා පාරට ගල් තලා දෙන්න
වාඩි හදල මැසින් ගෙනත් ලොරිත් හොයල ගල් අදින්න
ගල් වල නැවතත් ඇරලා පුරුදු පරිදි වැඩ කරන්න
රස්සාවක් මටත් ලැබුන ඒ ගල් වල මුර කරන්න
රොටී කාල තේත් බීල රෑ දොලහට නිදා ගන්නෙ
මේ වෙලාවෙ කවුද ඇවිත් ගල්ගෙඩි හොරකම් කරන්නෙ
ලංතෑරුම පත්තුවෙනව හුලඟට යන්තම් වැනෙන්නෙ
හෙවනැලි එහෙ මෙහෙ දුවන මා පමණයි නිසල වෙන්නෙ
“ඊයේ වෙඩි සැරයි නේද?” කවුද එහෙම ප්රශ්න ඇහුවෙ
සද්දේ දුර්වල උනාට පැහැදිලි ලෙස කනට ආවෙ
“කුස්තූරේ දිගට ගිහින් මේ පැත්තම බිමට බෑවෙ”
“හෙට කුළුගෙඩි වලින් තලයි ඉන්න නොදී හැන්ගි පොලවෙ”
පැලෙන් එළියෙ එබිල බැලුව පෙනෙන්න නැ කිසිම කෙනෙක්
ලංතෑරුම පෙන්වන්නේ තිබු බඩුවල නෑ අඩුවක්
කතා කර කරා ආවොත් නොපෙනෙනවද හොරුන් රැලක්
මම එහිදී දුටුවේ ලඟදී කැඩු ගල් ගොඩ පමනක්
නැවත පැදුරෙ නිඳි කිර කිර රෑ හඬ අහගෙන හිටියා
හෙමින් හෙමින් ගල්ගොඩ පැත්තෙන් කවියක් නැගී ගියා
මිලියන හයසිය වසරක්
දිගයි අපේ ඉතිහාසය
ඇරගෙන කොන්තරක්කුවක්
වනසයි අපෙ අනාගතය
කඳු ගැටයක් දමා මරා
ගල් ගොඩකට හරව ගන්න
බෝර ගසා වෙඩි පුපුරා
මගේ කෑලි ඇදල ගන්න
පළමුවෙන්ම අහස දුටුවෙ
බිම දෙදරූ වෙඩි පහරින්
අඳුරෙන් එලියට ආවේ
අනාගතෙ වසා අඳුරින්
කුළු ගෙඩියෙන් අත් මිටියෙන්
නිමක් නැතුව වද දෙනවා
ඇඟේ කැබලි වෙන් කරමින්
කියුබ් වලට ගොඩ ගහනව
තැනින් තැනට ඇද දමමින්
පාර දිගේ අතුරනවා
ගල් මෝලෙන් තද කරමින්
තාර ගෙනත් වක්කරනව
අපිට මේව කරන එවුන්
අපි ගැන අමතක කරනව
ගෙදර ගිහින් සන්තෝසෙන්
‘වැඩේ කම්මුතුයි’ කියනව
හැබැයි පුතෝ බලා ගනින්
අපිට හුඟක් කල් තියෙනව
අපිට වැඩිය තොපේ එවුන්
මේ පාරේ ගොස් මැරෙනව
මේ කතාව ඇහුනම මගෙ මුළු ඇඟ වෙවුලලා ගියා
ක්ෂණික තීරනේ ගත්තා රස්සාවත් එපා කියා