කිරි ඉතිරේවා
තනිකම මට දැන් පුරුදුයි මගේ පරණ සරම වගේ
වෙනසක් නෑ දිනෙන් දිනට ගාටන ජීවිතෙ මාගේ
සිංහල අවුරුද්දෙත් නෑ ඉස්සර එහි තිබුනු අගේ
ගමේ රතිඤ්ඤා සද්දෙන් අතීතයක් හිතට නැගේ
අවුරුදු චාරිත්ර අනුව නිල් ඇඳුමෙන් සැරසීලා
අළුත ගෙනා මුට්ටි පොඩ්ඩෙ එළකිරි පමණට දාලා
අළුත් ලිපේ දර අහුරා පවුලෙ සැමෝ වටවීලා
නැකතට ගිනි ඇවිලූවා තරුණ මෙමා උතුර බලා
නොඉවසිල්ලෙ අපෙ දරුවෝ ගින්නට තව දර දානව
“ඉවසල ඉන්නකෝ ටිකක්” මගේ පවුල මතුරනවා
හීන්සැරේ මුට්ටිය තුල කිරි මට්ටම ඉහල යනව
ඒ සමගින් ගෙදර අයගෙ සතුටු සිනා මල් පිපෙනව
සිනා මැද්දෙ ගැට්ට උඩින් යන්තම් එබිලා බලනව
පිටින් අණක් ලැබුවාසේ ක්ෂණිකව කිරි ඉතිරෙනවා
වැව් බැම්මක් කැඩුන වගේ සුදු කිරි පෙන වෑහෙනවා
ලිප නිවෙනව, දුම් දමනව කිරියි අළුයි මුසු වෙනවා
පවුල එකතුවීම නිසයි චාරිත්රය සතුට දුන්නෙ
අනාගතේ සුභ නොවුනත් සතුට නෑනෙ හීන වෙන්නෙ
පැහැදිලි සංකේතයකුයි ඉතිරෙන කිරි පෙන්ව දෙන්නෙ
ගලනා කිරි ආදරයෙන් සියලුදෙනා වැලඳ ගන්නෙ
අත්දැකීම් වලින් සාර මගේ මොලය දැන් සසලයි
සංකේතය පෙර නොදුටූ වෙනත් අර්ථයක් පෙන්වයි
මුට්ටියෙ කිරි ලිප ගින්නෙන් සැහැල්ලු පෙන බවට හැරෙයි
මුට්ටිය ඉඩ මදියි කියා පිටාර ගැල්මට යොමුවෙයි
ඉතිරෙන්නට සහය දුන්න ලිප ගින්නත් නිමා දමයි
චේතනාව කුමක් වුවත් මුල අමතක කලා වගෙයි
සමහරවිට අපෙ දරුවොත් රට හැරගියෙ මේ ලෙසටයි
දැන් අළු ගොඩ මත කිරි වල පාටක් වත් මට නොපෙනෙයි