කුස්සිය
සසඳා බැලුවොත් අපෙ ගේ රටකට
කුස්සිය කිට්ටුයි මහජන සබයට
සැසඳූවොත් එය ග්රහ මණ්ඩලයට
කුස්සි හිරුගෙ ශක්තිය එයි ගෙදරට
හැටපස් වසරක් ගතවී යන විට
පැහැදි නෑ පෙර දින වූ දේ මට
පුස්කෑ කළු සුදු චායා විලසට
බැහැලා ඇත්තේ මතකේ පතුලට
……………..
වී කොටන්නට මෝල්ගස් වංගෙඩි
හාල් ගරන්නට කොරහට නෑබිලි
පොල් ලෙලි ගලවා බිඳින්න වප්පිහි
හිරමනයෙන් ගා මඩක්කුවට කිරි
පොල් කටු පොල් ලෙලි දරයෙන් ලිප ගිනි
දුම් මැස්සේ වියලෙන්නේ දෙල් පෙති
පැදුරු ආනෙ පුරවලා පැදුරු මිටි
එල්ලෙනවා ගොන්නක් පොල් කටු හැඳි
ගොමගෑ පොලවේ වාඩි නොවී අපි
එලියේ සාලෙන් බංකු ඇදන් එති
ඇඹරුම්ගල කුසියේ කොනේ ඇති
වාඩි වෙන්න හොඳ කොලොම්බුවට වැඩි
දෙදෙනෙක් තිදෙනෙක් වැඩට උදව් දෙති
එමෙන් තෙගුනයක් කතාවෙ යෙදෙතී
……………….
ගෑස්වලින් දල්වා උයනා විට
පොල්කටු පොල්ලෙලි දර කුමටද මට
පැකට් කරපු හාලේ නෑ ගල් කැට
ගාල මිරිකලා පොල් හැක ගන්නට
මුවහත් පිහියක් එලවළු කැපුමට
දුමක් දහඩියක් නොදැනේ සිරුරට
සිමෙන්තියෙන් මැද සෑදූ පොලවට
ගැලපෙන මේසත් පුටුත් වාඩියට
අනිකො එන්නෙ නෑ කුස්සියෙ පෑත්තට
ටීවි බලන්නෝ වෙනවා අයිනට
පොත් කියවන්නෝ ඇලවී ඇඳකට
කාඩ් ගසන්නෝ මේසේ කොනකට
මිනිසා හැර වෙන දේ ගෙන තුරුලට
කතා කරන්නේ නෑ අනිකුන් හට
කෝකිය උයන්නෙ රේඩියො සද්දෙට
සිංදුව සමගම ඉවර කරන්නට
…….
හිරු නැති ග්රහ මඩුලක් මෙහි ඇත්තේ
කේන්ද්රයක් නෑ මේ ගේ පැත්තේ
සිවුපාවන්ගේ ක්රියා උගත්තේ
ගෙදරක් නොව මෙහි කැලයකි ඇත්තේ