ගයන්න වයන්න ගව

කියවන්නට එළි මදිවිට
නින්දෙන් ඇස් පියවෙනවිට
පොතේ අකුරු පේලිවලින් එලියට එනවා
ගයන්න සහ වයන්න මට කතා කරනවා
මේ කවිය කියනවා....

ඉස්පිල්ල කර වුනත්
පාපිල්ල මඩ වුනත්
මගේ ශබ්දය එකයි
මගේ අර්ථය එකයි

වැලි පිල්ලෙ ඇඳලා
පොත් කුරුටු ගාලා
කීබෝඩ් තලලා
එම අකුරු සදලා

නෑයො ලිපි ලියලා
මිතුරො කවි ලියලා
පෙත්සමුත් ගහලා
එම අකුරු යොදලා

රට කරන ලොක්කටත්
හිඟන යාචකයටත්
බාල මහළුන්ටවත්
මම වෙන්නෙ නෑ යටත්

මහ ගැඹුරු ධර්මයෙත්
පට්ටපල් බොරු ගොඩෙත්
වෙනස මම දන්නෙ නෑ
දැන ගන්න ඕනැනෑ

ඉස්පිල්ල කර උනත්
පාපිල්ල මඩ උනත්
මම මමයි
මම මමයි!

වටින් ගොඩින් එලිවෙනකොට
නින්දෙන් මම ඇහැරෙනකොට
ගයන්න සහ වයන්න මට අමතකවෙනවා
අහපු කවිය යන්තං මගෙ මතකෙ ඇඳෙනවා
හිතල මකල දමනවා