ගෙදර රංඩු
ඉස්සර අපි පොඩිකාලේ මට හරියට තරහ යනව
මට මතකයි මම අයියට ගල්ලෑලකින් ගහනව
දැන් ඒවා මතක් කරල දෙන්න එකට හිනහ වෙනව
දබර කලත් ඒකාලේ දන්නව අපි සමීප බව
“අම්මා අයියා කැඩුවා මගෙ බෝනික්කගෙ කකුලක්”
“නංගි තමයි ඉස්සරවෙල ඉරුවෙ මගෙ පොතෙන් කොලයක්”
දරුවන් ඇති හැම ගෙදරම රංඩුවලින් නෑ අඩුවක්
අම්මට මේවා පුරුදුයි නිතර ඇසෙන ඝෝෂාවක්
දරුවො වයස් ගත ගතවෙනකොට වෙන දේ ගැන රංඩු වෙන්නෙ
රංඩු මගින් එකිනෙකාගෙ අදහස් හඳුනා ගන්නේ
අනුන්ගෙ සිතිවිලි වලටත් ගරුකරන්න ඉගෙන ගන්නෙ
එකම ගෙදර හිටියෙ නැතත් දරුවො තවත් කිට්ටු වන්නෙ
මම කැමතියි දකින්න දරුවෝ සේරම එකතු වෙනව
ගෘහ මූලික ඌවොත් මම කරන කියන දේ දන්නව
“ප්රභාකරන් තම්බී දැන් හොඳයි නේද ගෙදර එන්න
අනික් අයත් එක්ක එන්න කෑම මේසෙ අස්කරන්න
විජේවීර මලයා පුලුවන්ද වතුර උනු කරන්න
සගයන්ටත් අඬ්ගහන්න තේ කෝප්ප සෝද ගන්න
ගෝඨාබය ෆොන්සේකට උදව් වෙන්න පුටු අදින්න
පූජක පක්ශය ඇවිල්ල එක පෙලකට වාඩි වෙන්න
කෑම ඕන තරම් ඇතිනෙ සම සමවම බෙදා ගන්න
මදි නම් අපි එකතුවෙලා තවත් කෑම සදා ගන්න
ශ්රමදානෙන් එකතුවෙලා ගේ කෑල්ල හදා ගන්න
උඹලට බැරිනම් කවුරුද එය කරන්නෙ මට කියන්න”