ගෙදර සිංහල

[අපි සිංහල වචන එක්ක සෙල්ලම් කලා ඒ දවස්වලත්. ඒවා කීපෙයක් තමා මේ කවි හැටියට ලියන්ට හිතුනේ]

බලු බෙටි බළල් බෙටි වැනිදේ මිශ්ර කර
“පස් ගූ රස” කෑම හදනව අපෙ ගෙදර

කට්ට කුමච්චල් කඩ ලඟ උදයෙන්ම
අහිංසක කුමච්චලයක් හොයමි මම

කරණවෑමියා අද කඩ වසා ගෙන
නොකරන වෑමියෙක් වෙනවද පෝය දින

මුද්රණාල හිමියෝ වැඩ වර්ජනයක්
උන්නාන්සෙ තනියම දෙන තර්ජනයක්
මස්කඩ හිමියො ගැන මට ඇත කුතුහලයක්
එඋන්නාන්සෙත් වෙනවද බෞද්ධයෙක්

සක්මන් කරන මළුවේ බැදි හාල් කැඳ
දස්කොන් තුමාටත් හෙම්බිරිසා උනද

ඉස්සෝ වඩේ කනවාදැයි අසන විට
පරිප්පු උන් නොකනා බව එයි සිතට

හාල් මැස්සො පන්සියයක් මිලට ගෙන
ගනං කරල බලන්න කීයද එතන

මිරිවැඩිසඟල ගත්තා මම වැඩි මිලට
මිරිඅඩුසඟල් ලාබයි හොඳ නෑ පයට

මුංඇට කිරිබත් හදනව ඉරිදාට
රන්මැනිකා එය හදනව වෙනදාට

ඇමති කමින් ඊයේ අස් උනා කියයි
මොනවද කමින් හිටියේ කියලා නොකියයි

ඇල්මෙන් අකුරු උගනී ඉදිරි වැඩ තකා
උනුමෙන් ගියෙ නැතොත් එය මතකයෙන් මකා

සුරා පානයෙ ආදිනව කඳ
ආදි නම් නව වෙන්නෙ කොහොමද

පාසැලක් තියෙනවා හන්දියෙ
කකුල් විකුනයි තබා බක්කියෙ

මංමුලාවී ඉන්න මිනිසුන්
මංඅගා වෙනවාද කලකින්

මහ මැදින් පෙරහැරක් තිබුනා
බලා සිටියන් දෙකට බෙදුනා

මංද මාරුතේ මෙවෙලේ සඳලු තලේ
නොදනිමි මංද කියලා මාරුත මෙවෙලේ

සසරෙන් මිදෙන තුරු පැවතෙයි භව තන්හා
මේ මොහොතේ ඇති මට අනුභව තන්හා

පල්ලෙකැලේදී අපි ක්රිකටුත් ගැහුවා
උඩ පංදුව අප්පල්ලේකැලේ ගියා

නාවල අන්නාසියෙ පැනි පෙරෙනවලු
නොනෑවොතින් මොක පෙරිලා එයිද කොලු?

වැස්සත් කොස් ඇටත් අතරේ වෙනස කිම?
එකකින් පාර මඩ අනිකෙන් මාර පඩ!

[මේ කවිය කවදාවත් ඉවර වෙන එකක් නොවෙයි.…..]