ගොං කතාවක්
වෙල් එලියක ගොං බානක් කකා උනි
ඉන් එක ගොනෙක් වලිගය නැතුව වැනි වැනී
වලිගය ඇති ගොනා මැස්සන්ට බැට දුනි
දුප්පත් කමත් වලිගය නැති ගොනා වැනි
කවියේ පේලි වෙන වෙනමම බැලුවාම
වැදගත් ප්‍රශ්න පැන නගිනව මගෙ හිතට
පළවෙනි පෙලේ ගොං බානගෙ කන කෑම
ප්‍රශ්නයක් නෑ එතන විසඳා ගැනීමට
දෙවෙනි පෙලේ වැනි වැනි සිටි ගොනා ගැන
ප්‍රශ්නයක් එනව වලිගය මුලට ගෙන
වලිග නැතත් නොවැනෙන්නෝ අසීමිත
වැනීම සහ වලිගයෙ සබඳක් නොමැත
තෙවෙනි පෙලෙන් ලොකු ප්‍රශ්නයි මතුවෙන්නේ
වලිගෙන් නොවෙයි ඇඟ ආරක්ශා වෙන්නේ
කට බඩ නහය වලටත්මැස්සෝ එන්නේ
උන් එලවන්න වෙන ක්‍රම සලසා ගන්නේ
අවිහිංසක මැස්සන්හට බැට දෙන්නේ
ක්‍රීඩාවක් ලෙස කියලා හිතෙන්නේ
වලිගය ඇති ගොනා අනුනට සලකන්නේ
‘තොපිට වැඩිය මම බලවත්’ කියමින්නේ
සිවු වැනි පෙලෙන් එන ප්‍රශ්නය මහ ගැඹුරුයි
දුප්පත් කමයි වලිගෙයි සබඳක් නොමැතියි
මැස්සො තැලුවෙ නැතුවට දුප්පත් නොමවෙයි
බැටදී මැස්සො මැරුවට පොහොසතෙක් නොවෙයි
දෙන්නම වලිගෙ නැත්තම් දුප්පතෝ නොවෙයි
අසම්බන්ධ සැසදීමෙන් හංවඩු වෙයි
භෞතික අඩු පාඩු තිබුනත් ලොව එකමයි
දැනුම සමග නිපුනත්වය එහි රජ වෙයි
තණකොල වතුර සපුරා ඇති වෙල්යායයි
ගොං බානට ඕනැම දේ මේ පමනයි
මැස්සෝ උන්ගෙ පාඩුවෙ ඔහෙ හිටියාවයි
වලිගෙන් සැදෙන හංවඩු ගොංකම පෙන්වයි