ජීවිතේට රාමුවක්
මට මතකයි මුහුදේ රැලි දිහා බලල පුදුම වෙනව
මීදුම් පිරි තේ වත්තක මතකෙන් සීතල දැනෙනව
කහ කුරුල්ලො පැපොල් ගසේ දුටුව දෙඇස් පිනවෙනවා
සපු මල් වල සුවඳ මගේ නහයට තව මතක් වෙනව
පිරිත් කියපු දිනක දැනුන සොම්නස පැනිමෙන් ගලනව
වන්දනා විනොද ගමන් කියූ සිංදු සිහි වෙනවා
ආදරෙන් බැලූ මුහුනු තවම හදෙ ඇඳී තියෙනව
කරදර කල පිහිට ඌවො නිතරම සිහියට නැගෙනව
ජීවිතය කියන්නෙ මගේ මතකෙන් ගොඩ නැගුන දෙයක්
ඒක බිඳ දමන්න ආපු තාක්ශනය අලුත් එකක්
ජීවිතයට හොඳ නරකත් සැපත් දුකත් මුහු වෙනවා
සිත්තරු කවියෝ මේවා නිතර වර්ණනා කරනව
සංගීතෙට දක්ෂ අත්තො ඒගැන වයලා ගයනව
මෑත කාලෙ මිනිස්සුනම් ඩිජිටල් කැමරා වනනව
“ඉන්න පේලියට ඇවිල්ල පොඩි කට්ටිය වාඩි වෙන්න
නැන්ද ඇවිත් මැදින් මෙතන නඩේ ගුරා වගේ ඉන්න”
“මටත් එවනවද කොපියක්, මේ දුවගෙත් එකක් ගන්න”
දානේ ඉවරද කොහෙදෝ දැන් කැමරාවට වඳින්න
විනෝද ගමනත් එහෙමයි ඉස්සරැහින් කැමරාවයි
ගමනෙ යන්නො නවතින්නේ කැමරා ඕනෑ කමටයි
ඉස්සර වාගේ නෑ දැන් ගත්ත ගමන් බැලුව හැකියි
පින්තූරේ හොඳ මදි නම් ආයෙ ගන්නෙ විසි හතරයි
ඉස්සර පින්තූර ගත්තෙ ඉලක්කෙ හොඳ හැටි බලලයි
දැන් බොත්තම තද කරන්නෙ කනා බල්ලො ගැසු ලෙසටයි
ඒකත් මදි හිතෙනවනම් බයිස්කෝප් හදත හැකියි
තවත් ලෝකෙ කා දමන්න දුරකතනෙන් පොටෝ ගනියි
කැමරාවෙන් බලනාවිට පෙනෙන්නෙ හතරැස් කොටුවක්
කොටුව ඇතුලෙ පින්තුරේ, තිබේ ඊට පිටින් ලොවක්
සිත යොදන්නෙ කොටුව දෙසට නෑ එහි හරවත් රසයක්
කෝමබ පිටපත් බෙදන්නෙ වෙනුවට රසවත් මදයක්
හිතා ගන්න වටිනව අපෙ මතකෙන් ජීවිත හදන්න
ඇස පමනක් නොවෙයි අපගෙ මතක සදා දෙන්න ඉන්නෙ
සංගීතය රසැති කෑම මොලොක් ස්පර්ශ මතක් වෙන්න
මොලේට කියලා තියන්න මේවත් හදවතෙ අඳින්න