දරු මුනුබුරු
පුතාගෙ ගෙදරට ඇවිල්ල
සුමානයක් විතර ගිහින්
දැනෙන්නෙ මාසයක් වගෙ
නුපුරුදු තැන ඉන්න බැවින්
‘බෞද්යාගේ අත්පොත’
කියවන්නට නෑ ගෙනාවෙ
ගෙදර පත්තරේ බැලුවොත්
අවුල් ඔලුව තව විඩාවෙ
පුතා ගිහින් බලලා ඒ
පොත විකුනපු පුංචි කඩේ
ඒකේ දැන් විකුනන්නේ
කොත්තු රොටී මසල වඩේ
ආයෙ පුතා කී විදිහට
මට ඇත්තේ පිටරට ලෙඩ
ලුණුයි සීනි මිරිස් නතුව
ආඟිරි ගානව මගෙ බඩ
පුතයි දුවයි කොහෙදො ගිහින්
මුනුබුරු පැටියෝ හිටවල
කරුවල වෙන නිසා එන්න
රෑට කෑම සැට් කරලා
‘කොහෙද දරුවො අම්ම ගියේ
දෙන්නා හොඳටම ඇඳගෙන’
‘බොස්ගෙ බර්ත්ඩේ පාටිය
ෆේස් බුක් එකේ හැටියට’
'සීයා අර පොත ගත්තද?’
කියල පොඩි එකා අහනව
‘නෑනෙ පුතේ ඒක ගන්න
ඉස්සර මම ඇස් වහනව’
‘ඉන්ටනෙට් එකෙන් මම පොත
අරගෙන දෙන්නන් සීයට
ෆොන්ට් සයිස් ලොකු කරලා
ප්‍රින්ට් කරමු කියවන්නට’
නොදනුම හංගාගන්නට
වෙනස් කරනවා කතාව
‘වැස්ස ඒවි අනිද්දාට
පෝය හෙට උදේ ලබනව’
ඒකත් මහ ගොං කතාව
කියලා මට තේරෙනවා
පුංචි දෙන්න කට වහගෙන
මූනෙන් මූනත් බලනව
ලුණු නැති එළවලු සුප් එක
පොල්ලෙලි තරමත් රස නැත
‘මොනවද ඔය ගොල්ල කන්නෙ
ඔහොම රොටී මම දැක නැත’
‘මේක මගේ චිලි පීට්ස
නංගිගෙ එකෙ චිකන් දාල
කොකා කෝල එක්ක මේව
හරිම රසයි බලමු කාල’
එළවලු සුප් බල්ලට දා
මහ හයියෙන් හිනාඋනා
පීට්ස කාල කෝල බිල
පොඩිවුන් මගෙ ගුරුන් උනා
‘ඉඳල හිටල මේ වගෙ දේ
කෑවට කිසි වරදක් නෑ
හැබැයි අනික් දවස් වලට
නරක කෑම අල්ලන්නෑ’
එදා තමයි මට හිතුනේ
මේවාගෙ පොඩිවුන්ගෙන්
ඉගන ගන්න දේ තියෙනව
බැරිඋනාට මහ උන්ගෙන්