නියඟලා
“රම්ය යෞවන ප්රේමේ
සුමදුර වේ
සුපිරිසිදු වේ
අපෙ අලේ
අපෙ අලේ!!!!!”
මේ ජාතික ගීය ගයා
සභා තොමෝ විසිර ගියා
අල සභාව විසඳූ දෙය
ඡන්ද විමස පිළිගත් දෙය
“නියම වන්නෙ අලේ අගය
අල කොමිසම කියන ලෙසය”
මයියොක්කා සමග බතල
ආවා වට පිට බල බල
කිරිඅල ඉන්නල වැල් අල
දේසි අලත් ගැහිලා පෙල
මෙකී නොකී දේශී අල
එක පැත්තක නෑ අගමුල
අනික් පැත්තෙ වෙයි රට අල
කැරට් බීට් අර්තාපල
බෙදිලා කන්ඩායම් වල
කතාවෙන් හැදෙයි කලබල
“උන් ගානට වැඩී ටිකක්
අමතක ඇති අගක් මුලක්
ඒ කාලේ ඔවුන් එකෙක්
කෑවද අපි එකම පසක්”
“අරකගෙ පොඩිඋන් දැක්කද
මඩ පිරිලද මුල් ඇදලද
කිසි හැඩයක් නෑ ඇඟේද
තව ලොකුවෙල වැඩක් ඇද්ද”
“බඩ තඩියට ඌ හිටියට
මැරෙනව නේ ඉඩෝරයට
එක අලයයි අවුරුද්දට
ආර්තිකයට මෙවුන් මොකොට”
“අරකා ලඟ පරෙස්සමෙන්
ඇඟේ සෙවල ඉහ වහමින්
උගෙ යාළුව ඉන්නෙ ලඟින්
ගෙවන්නෙ දවසම කසමින්”
“අලුත් රටට අපි ආවා
මහන්සිවී පස හැදුවා
මුන් ගලවා වඳ කෙරුවා
නොමැරී නැවතත් ආවා”
කාමරයේ ඈත කොනක
හිනැහෙන නියඟල අලයක
වටේට පොඩි අල ගැට ටික
ලෑස්ති රස විඳිනු බණක
“කොච්චර ඔය කෑ ගැහුවත්
බලය ගන්න වැර කෙරුවත්
වැදගත් යයි දැන් පෙනුනත්
සියල්ල මායාවක් වෙත්”
“ජාතිය, රස, පාට, හැඩය
වෙනස් වු අපෙ අල භාවය
අන්තිම යන තැන මුට්ටිය
තැම්බී නැති වෙයි ජීවය”
“උඩ ලෝකේ මිනිස් ජාති
කලෙත් මෙවැනි මෝඩ ජාති
කෑගසමින් යුද්ධ කරති
අවසානේ වලට බසිති”