නිහඬ කතා

සෙමින් ගලනා අඳුරු සේනා, වලට හිරු දෙවි පැරදිලා
බලය හීනව හති අරින්නේ, කන්ද පිටුපස සැඟවිලා
අනාගත අභිලාශ පෙන්වා, අහස රතුවෙන් සරසලා
නැවත හෙට එයි රට දිනන්නට, අඳුරු සේනා එළවලා

ගෙවල්වල රෑ පහන් දල්වන, වෙලාවත් දැන් ඇවිල්ලා
නමුත් මේකිව් ගෙදර තව නෑ, විදුලි පහනක් දල්වලා
හැක දකින්නට බිරිඳ සැමියා, එලියෙ පුටුවල වාඩිලා
තේ බොමින් උන් එහි සිටින්නේ, අඳුර එනවා බලබලා

දෙදෙනගේ සිතුවිලි දුවන්නේ, දොල පහරවල් සේ ගලා
වියුක්තව කිට්ටුවෙන් ඉන්නේ, එකිනෙකා දකිනා ලෙසා
වචන සියයක අරුත ගත හැකි, ඉඟියකින් ඉදිරිය බලා
වචන කුමටද වසර හතලිහ, එකට ඉඳ දිවි ගෙවාලා

“දානේ මේ සැරෙ දේවිලාගෙලු”, වචන එනවා පාවෙලා
විනාඩියකට පස්සෙ ලැබෙනව, පිලිතුරක් “හ්ම්’ කියාලා
දානෙ වෙනුවෙන් සියලු කලයුතු, දේ තිබේ මෙහි ගැබ්විලා
එයින් සාකච්චාව ඉවරයි , වැඩ ලයිස්තුත් සැදීලා

කෑම ගැන නොසිතා අසන්නේ, “පාන් ඕනැද?” කියාලා
‘ඇවිදලා එන පාරේ තියෙනව බේකරිය’ යයි සිතාලා
‘පාන් ගන්නට එපා’ සිතුවට, කිව්වෙ “බත් ඇති” කියාලා
වචන ඇසුනට දුවන අදහස්, සිත් දොලේ ඇති ගිලීලා

බල්ලො දෙන්නත් නිහඬ වන්නේ, අයිති කාරයො දෙස බලා
වැතිර ඉන්නේ දෙන්න අතරේ, විස්කෝතු දෙයි කියාලා
නෝන තේ එක ඉස්සුවෝතින්, බලු ඔළුත් එයි ඉස්සිලා
එකට ඈඳිල වගේ ඒවා, නැවත එන්නෙත් බිම බලා

කලා මැදිරියො එලිය දෙන්නේ, ඕනැකම තම බලාලා
අඹ ගසේ රස ගෙඩි සැදෙන්නේ, එම ගසට ඕනෑ වෙලා
නිහඬ සාකච්චා වරම් ලදු, එයින් සැනසුම ලබාලා
වාචාල ලෙස ශබ්ද දූෂණ, කරන අපි පිස්සෝ වෙලා