පත්තරෙන් පාඩමක්

රටේ වෙන්නෙ මොකද කියා සොයා බලන්නට හිතිලා
මුදල් ගෙවල පුවත් පතක් ගත්තා කියවමු කියලා
මුල පිටුවෙම ලොකු අකුරින් පාටින් ඉස්මතු කරලා
හොර බොරු වංචා කෙරුවයි කියන ලොක්කො පෙල ගසලා

මේ පත්තරෙ කරන ඇත්තො දන්නව වැදගත් මොනවද
රට හදනා ව්‍යාපෘති ගැන විමසන්නේ කුමටද
ආගම සහ සංස්කෘතික ක්‍රියා වලින් වැඩක් ඇතිද
පිටරටවල වෙන දේවල් අපි දැන ගන්නම ඕනැද
[නළු නිළි තොරතුරු, ගාතන, අනතුරු නම් ඕන නේද
පසු පිටු වල ක්‍රීඩා සහ කාලගුණය දාල ඇතිද]

හොර කරන්න, බොරු කියන්න ඉගෙන ගන්නෙ බොහොම කලින්
වංචාවත් පුරුදු වෙනව කතා කරන දවසෙ පටන්
නිපුන තාව එසේ තිබී ඇයි අපි නොවුනේ ලොක්කන්
උපතින් ලැබි දායාදය නැතිකලෙ අපෙ ගුරු දෙගුරුන්

මම කියන්නෙ මේ පත්තරෙ අපිටත් සලකන්න වටියි
හොර බොරු වංචා වැදගත මුදලින් මැන ගත නොහැකියි
අතීතෙ හිතලා බැලුවොත් අපෙගේ හොර වැඩ බහුලයි
මුදල් අගය අමතක නම් සමානකම් එහි බොහොමයි

සත දහයක් මම ගත්තා - කෝටි දෙකක් උන් ගත්තා
පැන්සලකින් මම ඇන්නා - කිරිච්චියෙන් ඌ ඇන්නා
හොරට ලකුනු දා ගත්තා - හොරට ඡංද දා ගත්තා
ඉස්කෝලේ පුටු කැඩුවා - කඩ පෙලකට ගිනි තැබුවා
තේ බී නොගෙවා දිව්වා -බැංකු බංකොලොත් කෙරුවා
විබහගේදි කොපි කෙරුවා - වෙනකෙක් විබහගෙ කෙරුවා
හොරෙන් බීඩියක් බිව්වා - ගංජා හේනක් වැවුවා
සිගරැට් කරලක් ගත්තා - කුඩු ජාවාරම ගත්තා

“හොඳ” කියන්නෙ හොඳ දේටයි මුදල් අගය නොවෙයි බලා
“නරක” වෙන්නෙ නරක දේයි මුදල් අගය නොවෙයි බලා
අපි කලදේ මැන ගන්නේ හොඳද නරක දැයි බලලා
අපිත් උනුත් එක වල්ලේ බෑ එය අමතක කරලා