පනින්න පෙර සිතා බලනු

පොඩිඑව්වෝ වශයෙන් අපි නිතරම ගොං වැඩ කරනව
එනිසා අපෙ වැඩිහිටියෝ හැමදම අවවාද දෙනව
අපගෙන් සුළු ප්රතිශතයක් ඒවා ඔළුවට ගන්නව
වැඩිහිටි මොනවා කිව්වත් අපිට ඕන දේ කරනව

ගොංවැඩ කරලා පාඩම් ඉගෙන ගන්න හැකි වෙනවා
එහෙම කියද්දිත් මම නම් නැවත නැවත ගොං වෙනවා
මනුස්ස ගතියක් වෙන්නැති ගොංවැඩ මට අල්ලනවා
මගෙ අතීතෙ ගෙන බැලුවොත් ගොංකම් ගොන්නක් තියෙනව

“පනින්න පෙර සිතා බලනු” කියලා නිතරම ඇහෙනව
නමුත් ගොනෙක් වගේ මමත් දුර දිග නොබලා පනිනව
මේ තත්වය මෙහෙම ඇත්තෙ ඇයි කියලා මට හිතෙනව
මම ගොනෙක්ද මොලේ නැද්ද කන බීරිද යයි හිතෙනව

අනික් අතට වැඩිහිටි අවවාද ගැනත් මෙනෙහි වෙනව
සමහරවිට මෙහි වැරැද්ද ඒවාගෙයි මට හිතෙනව
කොහොමද ඒගොල්ල දන්නෙ කියලා මගෙ හිතට එනව
ඒ ප්රශ්නය විසඳෙනකම් මම මට හිතු දේ කරනව

කෙනෙක්ගෙ ඇති අත්දැකීම් කාළය දේශය අනුවයි
අවවාදය සදා ගන්නෙ ඒවායෙන් පෙරාගෙනයි
එය අදාල වුවත් නැතත් අපිට ඒව අසන්නවෙයි
පිළිගන්නද නැද්ද කියා දෙගිඩියාව හිතේ මැවෙයි
පනින්න පෙර බලපු අයද මේව කිව්වෙ කියල හිතෙයි
සමහරවිට කවදාවත් නොපැනපු අය වෙන්න හැකියි
“පනින්න පෙර සිතා බලනු” අවවාදය සිතට නැගෙයි
ඒ අවවාදය ගන්නෙත් පලමුව සිතලා බලලයි