ප්‍රශ්න වලට උත්තර

නොදන්නා දෙයක් දැන ගන්නට කෙනෙකුට ඕන වුනොත්
නොතේරෙන දෙයක් තේරුම් කරගන්නට ඕන වුනොත්
පැහැදිලි කර දෙන්න මේව හැකි උගතෙක් සොයා ගතොත්
පොඩි අය හිතනවා දෙගුරු ඇති ඒකට අනෙක් නැතත්

“පාරේ දැන් ගියේ කවුද?”
“රෑටත් ඉර නැත්තෙ මොකද?”
“සීනි එක්ක බත් නරකද?”
“මාළුවෝ නිදන්නෙ කොහෙද?”


මොක කීවත් දෙමව් පියෝ දරුවට එය ඇත්ත වෙනව
මෙතරම්දේ දන්න දෙගුරු පුදුම දක්ශයොයි සිතනව
ටිකින් ටිකට දරුවන්ගේ දැනුම වර්ධනය වෙනවා
එන්න එන්න අහන ප්‍රශ්න වල ගැඹුරත් වැඩි වෙනවා
දෙගුරු නොදත් දේ ඇසුවොත් උත්තර ගඟ වියලෙනවා
තත්වෙ බේර, බොරු නොකියා අයින් වෙන්න ක්‍රම සොයනව

“ටීචර් ගෙන් ඇහුවෙ නැද්ද?”
“පොතෙන් සොයා ගන්න බැරිද?”
“කෑමෙන් පස්සේ බලමුද?”
“සුනිල්ගෙ බල්ලා දැක්කද?”


දරුවෝ දන්නව මේවැන් කියවෙන්නේ එකම දෙයයි
දෙමව් පියෝ තමාගෙ නොදැනුම සඟවන්නේ මෙලෙසයි
දරුවෝ මෙය දන්නා බව දෙම්ව් පියෝ හොඳින් දනියි
දෙගුරුන් එය දන්නා බව දරුවන්ටත් රහස් නොවෙයි

ප්‍රශ්න අසන්නේ උත්තර සොයන්න පමණක්ම නොවෙයි
ඒවට උත්තර දෙන්නේ දැනුම වඩන්නමත් නොවෙයි
මෙය දෙගුරුන් දරුවන්ගේ සාමීචියෙ බීජය වෙයි
පවුලක ඇති සම්බන්ධය එයින් ශක්තිමත් කරවයි

ප්‍රශ්න නොමැති නිවසක් නියඟෙන් වියළුන බිමක් වගෙයි
මෙහිදි අහස පොලව අතර ගනුදෙනුවක් පැවැත් නොවෙයි
වලාකුලෙන් වැටෙන ‘ප්‍රශ්න’ පොලවෙන් උත්තර ඉල්ලයි
ගහ කොල ‘උත්තර’ අහසට තෙත් පොලවෙන් උඩට වැවෙයි
ගහ කොල දෙන වාශ්පයෙන් වලාකුල් තෙතින් බරවෙයි
ජල චක්‍රය මෙන්ම පවුල ප්‍රශ්න වලින් පෝශිත වෙයි

දෙමව්පියෝ දරුවන්හට මෙය පැහැදිලි කලයුතු මයි
නමුත් එසේ කල හැක්කේ තමා පිලිගතොත් පමනයි
“අනිකෙකුගේ කන්නාඩිය සොයන්න ඔබටත් හැකිවෙයි
තම කන්නාඩිය සොයලා පැලඳ ගත්තැයින් පසුවයි”