පාර දිගේ
අතීතයෙන් පටන් අරන් යන්න අනාගතය බලා
ලැබී තිබෙන වාහනෙ දැන් හොඳටම මලකඩ කාලා
ඇන්ජිම දැන් දුවන්නෙ එක එකාට පින්සෙන්ඩු වෙලා
ඉන්ධන වේලෙන්න කලින් යනවා ඇති දුර මැනලා
ඉදිරියෙ ඇති පාර පුරා මීදුම් පිරිලා වාගේ
ඈත පෙනෙන්නෙත් නෑ මට ඇස්දෙක ඇරිලාද මගේ
වැඩක් ඇතිද ඉදිරියෙ දේ බලන්න කෙරුවාට වදේ
මගේ අවට ඇති වාහන දිහා බලල ගියොත් හොඳේ
අවට තියෙන වෙන වාහන දුවන්නෙ එක දිසාවටයි
සමහරු ඉස්සර කරනව පෙන්වන්නේ හදිස්සියයි
අනිකො හෙමින් ගාටනවා ඒ වාහන හරි පරනයි
නමුත් සියලු දෙනා යන්නෙ වැදගත් ගමනක් වාගෙයි
හෙමිහිට යන මම බලනව වටපිට නිතරම වාගේ
අත වනනව දැක්කොත් පාරේ යාළුවො මාගේ
වේගෙන් යන්නන්ගෙ බැල්ම ඉදිරියෙ ඇති පාර දිගේ
ගමනට හිත යොමු කරලා අවට නොපෙනෙනව වගේ
සමහර වාහන දුටුවම මට පොඩ්ඩක් තරහ යනව
මටත් වඩා නාකි එවුන් කඟවේනන් සේ දුවනව
වටපිට නොබලා එවුවෝ නලාව ගහගෙන යනවා
බොරු සෝභන පෙන්වාලා ගමනට නිග්රහ කරනව
පාට පාට නව වාහන යනකොට මම තල්ලු වෙනව
සිංදු දාල කොඩි බැඳලා රටට පෙනෙන ලෙස යනවා
අමාරුවෙන් හසුරුවලා පාරෙ ඉන්න මම බලනව
කවදා හරි ඒ අයටත් මගෙ වේගෙට යන්න වෙනව
සමහර වාහන යන්නෙ බොහොම හෙමින් අමාරුවෙන්
පවු කියලා හිතෙනව මට දුටුවම අනුකම්පාවෙන්
සමහරවිට උන්ගෙ ගමන යන්නේ කෙලවර දකිමින්
මටත් වෙන්නෙ ඔය ටිකමයි මොක කෙරුවත් උත්සාහෙන්
පෙලට දකින වාහන මම හොඳටම අමතක කරලා
බලනව මම පස්ස බලන කන්නාඩිය දෙස හැරිලා
බාල කාලෙ දකිනව එහි මවුපිය පෙළපත මැවිලා
පෙනීම මගෙ අඩුවෙනවා ඇස් දෙක කඳුලින් පිරිලා
නිල් අහසයි හිරු එලියයි ගස්කොල මගෙ ඇස් පිනවයි
සිනහ හඬයි ආදරයයි සංගීතය හද පුරවයි
කිවූ කතා කෙළි සෙල්ලම් රස ආහර මතකෙ නැගෙයි
අතීතෙ ලැබු සතුට වුවත් අදට කිසි පලක් නැතිවෙයි
චිංතකයෝ කිවූ ලෙසට මම වාහනෙ තුල බලනව
අනිකුන් ගැන නොහිතා දැන් මාවම වටහා ගන්නව
වැදගත් දේ වාහනෙ නොව එලවන්නා යයි හිතෙනව
වාහනෙ අතහැර දාන්න ලෑස්තියෙන් මම ඉන්නව