පැල් කවි
කුඹුරු ගොවිතැන් කරල ජීවිත ගෙවූ කාලය සිහිකරමි දැන්
වෙලේ පාවුල ඇටවු ගෙදරත් වෙලත් එකලෙස වාසනා වන්
මමයි පවුලයි දූල දෙන්නයි සැලකු ඉර හඳ තාරකා මෙන්
ඇත්තෙ අද ඉතිරියට අහසේ බැන්ද මලිග කෑලි පමනින්
අපේක්ෂාවක් තිබුනෙ නෑ අපෙ මෙවැනි ඉරණම් එයි කියාලා
දම්වැලක් සේ යාවු පවුලත් සරු කුඹුරකුත් පරදවාලා
නියඟ ජල හිඟ ඉඩම් හිමි පොර එකතුවී කටු කම්බි ජාලා
හුදකලාවේ හේන් කොටනව ගෙදර ඇත්තෝ ගමේ යවලා
හේන පාළුයි ශබ්දයක් නෑ කුරුලු ගීතය නිමා වී දැන්
ලෝබ අඩ සඳ එළිය හරවයි වටපිටා ගස් වලට හොල්මන්
අඳුර පැල්ලම් අතර බැඳ ඇති දූපතක් වූ නිදන මැස්සෙන්
නැගෙන පැල් කවි ගීතයක් නොව ළතෝනියකුයි ඉරුනු හදකින්
සුලං රැල්ලෙන් සැලෙන ශාඛා ගතට පවනින් සුවය ගෙනදෙයි
හිත නිසොල්මන් කිරීමට ඒ සුලං මාරුත වලට නොහැකියි
වියූ පැදුරේ සිලිටු භාවය සරම බැනියම තුලින් දන්වයි
එයින් මට වැඩිපුර දැනෙන්නේ පැදුරෙ මම තනිවී ඇති බවයි
රෑට කබලේ දා සදාගත් රොටිය මාගෙ උගුරෙ හිරවී
කඳුළු ආවා ගෙදර අයටත් රෑට කෑමක් ඇතිද සිහිවී
කෙල්ලො දෙන්නා හාමතේ නිදි යයිද පැදුරේ එකට ගුලිවී
පවුල නැලවිලි ගී කියනවද දවස තිස්සේ තව වෙහෙසවී
මගේ කවියෙන් මා බලන්නේ සතුන් එලවන්නට නොවෙයි දැන්
අරමුණක් නැති හඳට බුරනා බලු කැහැට්ටෙක් වගේ මා දැන්
නැවත දිනයක අසෙන තුරු මට ගීත නැලවිලි සිනිඳු ස්වරයෙන්
කන්නලව් කරනවා අද මම හඳත් ග්රහ තරු දෙවි වරුන්ගෙන්