පිට්ටෙනියේ ගහක්
මිනිබිරියයි මමයි ඊයෙ හවසට කම්‍මැලි හිතිලා
ඇවිදින්‍නට කියා ගියා ළඟ ඇති පිට්‍ටෙනිය බලා
ඒකේ තණකොල කපලා ඇවිදි පාර අතුගාලා
හරිම ලස්‍සනයි අහසත් නිලෙන් තොප්පියක් දාලා
පිට්ටෙනියේ එහා කොනේ පුරාණ ගස් වැටක් පෙලට
සෙවන දෙනව මහන්සියෙන් පිටිය වටා දුවන අයට
සෙවනෙන් දෙන සුව විදින්න අපිත් ගියා ගස් වදලට
වාඩි වුනා තණ ගොල්ලේ කකුලෙ විඩා ඇර ගන්නට
මිනිබිරි දුව පැන ඇවිදින විලස බලා ඉන්නා විට
සුලඟට ගිලිහුන කොලයක් වැටුනා මගෙ ඔළුව උඩට
උඩ බැලුවම පෙනෙනව මට කොල වැටෙන්නෙ ඇයි පවනට
මේරූ කොල අතර පෙනුන වියලී ගිය කොල හරියට
ගසේ කඳත් ගොරෝසුවී පොතු ගැලවී තාර වගේ
පරණ වණ වගේ පේනව පොරෝ පහර වැදිල වගේ
දිරාපත්වෙලා සමහර අතු වැටෙන්න ලඟයි වගේ
ගමනාන්ත දරගෙ සොයා ගස ගමනේ යනව වාගේ
උඩ අතු අතරින් පෙනෙනව මීට වෙනස් වන දැක්මක්
එක අත්තක ඈත කොනේ රෝස පාට දළු කැටියක්
එතැනින් මල්, ඇට හැදිලා පටන් ගනී තවත් ගහක්
ලොකු ගහ මැරිලා ගියාට ගස් පැවතෙයි බොහෝ කලක්
ගෙදර එන්න හිතලා මම ගත්තා මිනිබිරිය කරට
මගේ කකුල් දෙක පරණයි සමානවෙයි ගසේ කඳට
රෝසපාට දළුමෙන් මිනිබිරී සැලෙනවා සුලඟට
ඇවිදී ඈ සැකනෑ මට දරගෙ බලා මා යනවිට