පිහිනන්නෝ

පෙරුම් පුරල බොහොම කලක්
මුණගැසිලා මිත්ර කැලක්
ගෙවන්න පොඩි නිවාඩුවක්
මුහුදු වෙරලෙ ගත්ත ගෙයක්

වෙලා ගිහින් උදේ කාල
වැල්ලේ වාඩියක් දාල
අව්වෙන් පිට පිච්චෙන කල
එකෙක් කිව්ව නාමු කියල

හතර දෙනෙක් නැගිට ගියා
ඇඳුම් මාරු කරමු කියා
අනිකුන් නොසැලී සිටියා
නොනාන එක හොඳයි කියා

“උඹල එන්නෙ නෑ නාන්න?
මුහුදෙ වතුර ඇඟට නියම
මෙච්චර දුර ඇවිත් ඉන්න
තොපිත් ගොංද නොනා යන්න”

එක එක්කෙන දෙන උත්තර
හරිම කොටයි නෑ විස්තර

“මටනං බං උණ වාගෙ”
“කකුල කැපිල ලුනු වැටුනොත්”
“ගෙනාවෙ නෑ නාන අඳුම්”
“මද්දහනේ නාන්න බෑ”
“දොස්තරයා එපා කිව්ව”
“කෝල් එකක් බලා ඉන්නෙ”
“මටනම් පීනන්න බෑනෙ”

මෙතන හිටියෙ අපේම අය
මැදි වයසට පැමිණුන අය
හොඳ රැකියා වන් ඇති අය
එහෙමට බොරු නොකියන අය

“පිහිනන්නට බෑ කිව්වේ
වතුර නැද්ද ගමේ වැවේ”
සරදම් වැදුනට සරුවේ
ඌ පමනයි ඇත්ත කිව්වෙ

බොරු කියලා නොනාපු අය
මේගැන දැන් සිතිය යුතුය

පිහිනන්නට තව බැරිනම්
කියව ගන්න මේ පිලියම්:

එක්කො ඒක ඉගෙන ගන්න
නැත්තන් වතුරට නොයන්න
එහෙමත් නැත්තන් බලන්න
පතුලට බැහලා දුවන්න
සියල්ලටම පෙර හිතන්න
බැරිකම බෑ හංග ගන්න