පොල් සම්බල්

ලංකාවෙන් පිට වීලා බොහොම කාලයක් ගිහිල්ල
ගත පදිංචි වී හිටියත් සිත තව නෑ මෙහෙ ඇවිල්ල
වෙනද වගේ වැඩට යන්න වෙලාව දැන් හරි ගිහිල්ල
හැබැයි ඇඳේ ඉන්න හිතයි නැවත වසා ඇස්පියල්ල

'බරස් බරස්' ගා ඇහෙනව සද්දය මගෙ කනට පුරුදු
පොල් ගානව වගේ උදේ හිරමනෙ කියනවා විරිදු
දෙහි සුවඳක් දැනෙනව දැන් කෙල උනනව බිංදු බිංදු
සම්බලයක් ලැබෙනව අපි උදේ කන්න වරම් ලද්දු

වටින් ගොඩින් එලිය වැටී යන්තම් ගහ කොල පේනව
කුරුල්ලො ඇහැරී එනවිට බල්ලෝ ඉඳ හිට බුරනව
බාල්දියෙන් බේසමක වතුර දානවා ඇහෙනව
තේ කෝප්පයක් ඇත්නම් කොච්චර හොඳ දැයි හිතෙනව

'එයා තවම නිදිද කොහෙද' ඇහෙනව අක්කා කියනව
'පාඩම් කරලා මහන්සි විභාගයත් ලඟ එනවා'
කතාන්තර පොත් කියවා හිටියෙක වැරදියි දැනෙනව
තේ ගැන පමනයි නෙ සිහිය පාඩම් කුමටද හිතෙනව

බොහොම අමාරුවෙන් වගේ බස් ඒක යනවා පාරේ
වංගු සහිත කන්ද නිසා එලවන එක හරිම පොරේ
මිනිස්සු පිරිලා හොඳටම කොන්දොස්තර එල්ලි දොරේ
සමහර පාසැල් යන අය තවම ගිලිල නිදි සයුරේ

අක්කල ඇහැරල හිටියට කතාවනම් බොහොම හෙමින්
ඒ කියන්නෙ අප්පච්චී තවම නැගිට නැතුව ඇඳෙන්
නැගිට්ටන්ගෙ කටහඬ මට ඇහෙන්නෙ සිංවක් ලෙසින්
ඒ අහලා මට හිතෙනව නැගිටින්නට තව ටිකකින්

පොල් කඩනා මිනිහ ඇවිත් ගෝනි සොයා ඇවිදිනවා
'කාපු ගමන් ආවෙ' කියා බංකුව උඩ වාඩි වෙනව
තව ටිකකින් කාල බීල එයා පොල් කඩන්න යනව
මමත් යනව එයත් එක්ක තැඹිලි බොන්නටත් හිතෙනව

අද ගිහිල්ල අයිය එක්ක කිතුල් ගහක් තලා ගන්න
ගල් ගෙඩි උඩ වාඩි වෙලා දෙකට බෙදල ඒක කන්න
අවුව වඩා සැරවෙනකොට පහල ඇලෙන් නාල එන්න
රෑ වෙනකොට එකතුවෙලා නාට්ටියක් රඟපාන්න

'බරස් බරස්' ගාන සද්දෙ නැවත වරක් මට ඇහෙනව
'ක්රීන් ක්රීන්' කියල ඒක තව ටිකකින් වෙනස් වෙනව
ඔර්ලෝසුවෙ සීනුව නේ ඒ සද්දෙට ඇහැරෙනවා
සුසුමක් හෙලලා මම දැන් වැඩට යන්ට නැගිටිනවා