මගේ ගෙදර
මම ගෙදර තනි වී සිටින විට
හැකිය මට ඕනෑ ලෙසට ඉන්නට
කන්න බොන්නට නිදා ගන්නට
වෙන කෙනෙක් නෑ කියා දෙන්නට
කනව මට ඕනෑ වෙලාවට
හැකිය හිතුනොත් නොකා ඉන්නට
පාන් පෙත්තක් කා නිදන්නට
අවහිරක් නෑ මෙමට කිසි විට
නිදි ඇඳෙන් නැගිටලා එන්නට
මුහුන කට මගෙ දොවා ගන්නට
හෝර යන්තර ඕනැ නෑ මට
හිතේ හැටියට දිවි ගෙවන්නට
නෑ කෙනෙක් යාලුවක් ආවොත්
වෙනස් වෙනවා මගෙ පැවැත්මත්
හරි වෙලාවට තේ හදන්නත්
රෑට උයලා කන්න දෙන්නත්
නිදා ගන්නා තැන හදන්නත්
සතුටු සාමීචියෙ යෙදෙන්නත්
මෙවැනි දේවල් මටයි අත්පත්
සමහරුන් හට මේව වැදගත්
එනිස හැර ජීවිතේ සිත් ගත්
ඉෂ්ට කරනව ඒ සියල්ලත්
ඔවුන් හොඳැහින් බලා ගත්තොත්
මටත් සතුටුයි උනුත් සැනසෙත්
මිත්ර නෑදෑයෝ ඇරුනුකොට
තවත් අය එයි මගේ ගෙදරට
ඇවිත් දින කීපයක් හිටියට
වෙන්නෙ සුලු වෙනසක් එයින් මට
නමුත් සමහරු වැඩට එනවා
හිනාවෙන් මුව සරසවනවා
අහිංසක කම විදහ පෙන්වා
ඇවිත් මගෙ ජීවිතේ කනවා
‘මහත්තය මෙහෙ වැඩ තියෙනවද’
‘වත්ත පහලින් පැලේ ඉන්නද’
‘වත්ත උදේට උදලු ගාමුද’
‘වටේ වැටටත් කම්බි ගහමුද’
:
:
‘පාර ලොකුවට කපල දාමුද’
‘ගල් වැටක් බැඳගන්න නරකද’
‘මොකොට කුඹුරක් මෙතන හැදුවද’
‘වටින වන්නේ තේ තමයි අද’
:
:
‘මම ගෙනත් දුන් පොහොර දුටුවද’
‘හෙටම දාලා වගා කරමුද’
‘වතුර පොම්පය වැඩ කරනවද’
‘මගේ බෑනගෙ එක ගේන්නද’
:
:
‘කෝ ඔයා මුදලාලි දැක්කද’
‘තිබුන බිල් ඔක්කෝම ගෙව්වද’
‘ණයට ඉඩමත් උකස් කෙරුවද’
‘ඉඩමෙ වටිනා කමත් කීයද’
:
:
‘ගෙදර මගෙ දැන් උඹට ඇහුනද’
‘මා හිටපු පැල උඹට ඕනැද’
‘මුරට කවුරුත් ඕන මට අද’
‘අරන් පලයන් මට නොදී වද’
දැන් ඌට මම සැර් කියනව
උගේ වත්තෙ කරඬි ගානව
ඉඳල හිටලා හිතට එනවා
කාට කාටත් වෙනව මේවා
ශක්තියෙන් මම කැහැටු රිලවා
වලහ සමගින් සටන් කෙරුවා
සභ්යත්වය ගුණ පරදවා
ශක්ති වන්තය දිනුම ලැබුවා
පුරුතුගීසියො රටට ආවා
ලංදේසියොත් පස්සෙ ආවා
එංගලන්තයො ඉවර කෙරුවා
ලාංකිකයෝ කරඬි ගෑවා