මගේම ලෝකය

එකදස් නවසිය දහයේ වෙන කියන්න දෙයක් නැතුව
රැල්ෆ් බාටන් පෙරී කියල කෙනෙක් මෙහෙම දෙයක් කිවුව
මනසේ පිලිබිඹුව මිසක් ලෝකයෙ වෙන දේ නැති බව
අවට ලෝකෙ හදා ගන්නෙ තම මනසෙන් පමනක් බව

මේක අහල මගේ ඔලුව “ටකර ටකාන් ටකර ටකාන්”
මගේ මොලෙත් වැඩ කරනව පාසැල් සීනුව නාදෙන්
මගෙ විශ්වය ඇතිකරන්නෙ මගේම ඔළුවේ ඇතුලින්
අනික් එව්වො මවනව ඇති උන්ගෙම විශ්වයෙ පැටවුන්

තම මොලයෙන් මවනව ගෙන අමු ද්රව්ය ඇතුලේ ඇති
පිටින් ලබන අදහස් උදහස් ලාබයි වැදගත් නැති
පිටින් කිසිදෙයක් නොලබා ලොව මවන්නො අපමන වෙති
උන් හැමදා එකම දෙයක් කියමින් කුල්මත් වෙති

අන්ඳයො හත් දෙනෙක් ඇවිත් අලියෙකුගේ හැඩ බැලුවා
කැස්බෑවා විය සිදුරෙන් ලෝකය විපරම් කෙරුවා
ලිඳතුල ඉපදුන මැඩියෙක් වටකුරු අහසක් දුටුවා
අසූචියේ හිටි පනුවා අවට සුගඳ නොදුටූවා

මගෙ විය සිදුරත්, ලිං කට, අසූචියත් නම් කරනව
ජාතිය ආගම කුලයද අත්තිවාරමක් දමනව
භාශාවත් උපන් රටත් උගත් කමත් එක් වෙනවා
දේශපාලනෙත් මුදලුත් හැඩත් මුක්කු සල සනවා
තමන් හොඳයි කියල හිතන ඕන දෙයක් එක් කරනව
ලොකුම ප්රාර්ථනය මගේ "අනිකුන් ඉක්මවා යනව"

ලෝකෙ වැරැදි සියල්ල දැන් රැල්ෆ් බාටන් පෙරී අතේ
එයාගෙ ගොං කතා නිසා මතුවෙයි කවි මගේ සිතේ