මඟුල් යෝජනා
“උඩරට බොදු ගොවි පවුලක
ඉපද ශිල්ප සතර උගත්
පැහැපත් රූ අපේ දුවට
සුදුසු කෙනෙක් සොයා සිටිමු”
“පිටරට හොඳ රැකියාවක්
කරන මගේ මල්ලී හට
කෞරව බැති කතෝලිකවු
පැහැති ලඳක් සොයමි මෙමා”
මේ දෙන්නා එකතු උනොත්
ආදරයක් දළුලායිද
හොඳ දිවියක් හදා ගයිද
ළමෝ කැලක් බිහි කරයිද
සාමය සහ සතුට සමග
ජීවිතයක් ගොඩ නගයිද
ආගම් කුල ජාති රූප
උපතින් ලද දායාදයි
මගෙ අවසර නොඉල්ලාම
ඇවිත් මගෙ කරේ එල්ලෙයි
උගත් කමත් රැකියාවත්
මහන්සියෙන් උපයාගත්
ආඩම්බරයක් ගෙනවිත්
සිතට ගතට බලයක් දෙත්
“විසිපස් වසරේ ඉන්නා
උපාධිලත් ගුරුවරියක්
හොඳ ගතිගුන සමග උගත්
තරුණ කෙනෙක් සොයා සිටිමි
මුනගැසිලා කතා කරල
මොකක් වෙයිද කියල බලමු”
යම් දවසක සිළුමින
පත්තරේ මෙහෙම ලියවෙයිදැයි
තවම දැනට හිතන්න බෑ
පවුලෙන් ඉඩ දෙන්නෙත් නෑ
නමුත් එසේ වූ දවසට
රට පුරාම ඇසෙන දෙයක්
නජජ්ජ වසලෝ හෝති
කියල ඇහෙන ගාතාවක්