මට අල්ලන තාක්ෂණය
සල්ලි ගෙවල ගත්ත මමත් කොම්පියුටර් තාක්ෂණය
ඉගෙන ගත්ත හසුරුවන්න යතුරු පුවරු ඉංගිරිසිය
පුතා හොරෙන් ගෙනත් දැම්ම පද සකසන ප්රෝග්රෑමය
මොලේ හිස් උනත් තියෙනව කවි ලියනා තාක්ෂණය
සිංහල අකුරෙන් ලියන්න මගෙ මැසිමට නොහැකි බැවින්
පුතාගෙ පිහිටෙන් දැම්මා අලුත් ෆොන්ට් සිහල බසින්
පහසුවෙන්ම ලියන දෙයක් කියව ගන්න ඇඳේ නිඳන්
සෙකන් හෑන්ඩ් ප්රින්ටරයක් හයිකෙරුවා මේසෙ යටින්
හිස කැසුවට නිදි මැරුවට මගෙ සිතිවිලි තද නින්දෙන්
ලියන්න අදහස් නෑ කිසි මගේ මොලේ ලැබු උපතින්
හොඳම විසඳුමක් ආවේ දුවගෙ මොලෙන්, මගෙ මුදලින්
“අංතර්ජාලෙන් අදහස් හොරෙන්ම ගන්නට පුළුවන්”
ලොකේ සියලු ජන කාංඩ අංතර්ජාලෙට ලියනව
හොඳ නරකක් සොයා නොබල කැමති බම්බුවක් ලියනව
ගැඹුරු ධර්ම ඕප දූප සම සම ලෙස වැජඹෙනවා
ප්රජාතංතරේ නියමෙට අංතර්ජාලේ තියෙනව
මොලේ නොයොද තාක්ශනය නිතරම පාවිච්චි වෙනව
පැය ගනනක් පරණ සිංදු, බයිස්කෝප් මම බලනව
ඕන රටක ගහන ක්රිකට් මැච් මම ගෙදරදි බලනව
ඊමේල් සහ ටෙක්ස්ට් නිසා ලිපි ලිවීම අපෝ වෙනව
බිල් ගෙවනව වගේ වැඩත් අංතර්ජාලෙන් කරනව
ස්කයිප්, වයිබ හෙම ලාබයි නිතරම පාවිච්චි වෙනව
යාළුවො නෑයෝ බලන්න යන එක මම නවත්වනව
ගෙදරින් එලියට බහින්න ඕන හේතු අඩු වෙනවා
කෑමට බීමට හැර වෙන වියදම් මට නැති වෙනවා
පරිගනකෙට ගෙවපු ගාන මෙනිසා හොඳටම වටිනව
“ෆේස්බුක්” තමයි ගෙනෙන්නෙ උපරිම හිස් කතා අපිට
වෙන කොහෙන්ද සොයා ගන්නෙ ජෙමා කාපු දේ උදේට
ඉස්සර මම සෑහෙන්නට පිනට දෙනව සුදුස්සන්ට
දැන් වියදම් අඩුයි මෙමට “ලයික්” දෙනව ඒ වෙනුවට
ඒ කාලේ රුකුල් දෙනව සුදුසු අයගෙ සටන් වලට
දැන් නොකියව “ශෙයා” කරනවා තකතිරු සටන් පාට