මතක පොකුණ
මගේ මතක සටහන් තැන
පොතක නොවේ එය පොකුණක
අත්දැකීම් පිරුණු පොකුණ
පතුලෙ රැඳෙයි මගේ මතක
කෙළින්ම ලිවුවට සටහන
පිළිවෙලකට නෑනෙ මතක
වඳුරො වැපුරු ගල් කැට මෙන
මතක ඇත්තෙ මිශ්රනයක
සටහන හරියට ලිවුවත්
මතක හෙමින් වෙනස් වෙනව
පොකුණට ගල් කැට දැම්මත්
බොර වතුරෙන් වැසී යනව
වතුරේ බොර ගතිය මෙන්ම
ගැඹුර වගේ දේ වැදගත්
ගල් කැට ලොකු පොඩි වගේම
පතුලෙ නැවති තැන වැදගත්
දෙමව්පියෝ පවුලේ අය
ලොකු පරුවත ලෙස පෙනෙන්නෙ
ඊයෙ මගදි හමු උන අය
වැලි ඇට දැයි මට හිතෙන්නෙ
මගේ ජීවිතෙට ලංවූ
අය පෙනෙන්නෙ මැනික් ලෙසට
අනික් අන්තයේ රැඳවූ
අය වාලක්කඩි වගේ කැතට
මගේ දක්ශ කම් පෙන්වූ
ගල්කැට ලොකුවට පෙනුනට
කුහක මෝඩ කම් දැක්වූ
ගල් කැට වැහිලානෙ මඩට
මතක මිශ්ර අච්චාරුවෙ
රසයන් බෑ වෙන් කරන්න
කාලයාගෙ රස එකතුවෙ
තම අද සම්බලෙන් එන්නෙ
නිතරම පොකුණේ මතුපිට
රැලි නැගෙනව අවුල් සිතෙන්
එකම මතක පැයෙන් පැයට
වෙනස් වෙනව මුහුණුවරින්
හිත එකලස් කරව ගන්න
රැලි බොර මඩ අඩු කරන්න
භාවනාව පුරුදු වෙන්න
පිරිසිදු පොකුනක් ලබන්න