මහ ගෙදර

අපි උපන්න ගමේ ගෙදර ඇත්තේ නටබුන් පමණයි
වහල නැතුව ගරා වැටිල බිත්තිත් ගල් වැටි වාගෙයි
කැලේ ඇවිත් ගෙපල පුරා කාමර වෙන් කල නොහැකියි
ඇත්තෙන් මහ ගෙදර අපේ ගෙදරක හොල්මනක් වගෙයි

සෝද පාලුවෙන් සෙල්ලම් කල මිදුලත් නැති පාටයි
මල් පාත්ති පලතුරු ගස් දියවෙන මතකක් පමනයි
පඩි පෙල කැඩිලා ගිහිල්ල ඉන් එක පඩියක් ඉතිරියි
එහි ඉඳගෙන ඇස් වැහුවම ගෙදර හෙමින් කතා කරයි

“ළමයි එක්ක ආවෙ නැද්ද මොකොදෑ තනියම එන්නේ
දැකගන්නත් ආසයි මට දැන් හොඳටම ලොකු ඇතිනේ
මෙහෙ ඉස්සර වගේ නෙවෙයි පාලුව හොඳටම දැනෙන්නෙ
කොහොම තිබුන ගෙයක්ද මේ දැන් කැලේට යට වෙන්නේ”

“මස් ලේ ඇති මිනිස් අයට අතීතෙ අමතක වෙනවා
ගල් වැලි පස් ලී ඇඟකට මතක කැටයමක් වෙනවා
මගේ බිත්ති වහල ගෙබිම පඩි පෙල තනියම හිතනව
එකතුව ඉන් ගත්තම මට සියල්ල මතකෙට නැගෙනව”

“ඔයා වාඩි වෙලා ඉන්න පඩිය ගැන ටිකක් හිතන්න
ඔය පඩියෙන් ගිය අය හොඳනෑනේ අමතක කරන්න
පරම්පරා ගානක් ඉහලට පහලට ගමන් ගන්න
ගමේ ඈයො වෙද්දු ලෙඩ්ඩු මගුල් ජෝඩු බෑ ගනින්න
දහස් ගනන් කකුල් වලින් ඇතිනෙ පඩිය ගෙවිල යන්න
මේ පෙරහැර වටිනව අපෙ ඉතිහාසෙට එක් කරන්න”

“කොල්ලො කෙල්ලො බල්ලො පූසො මිදුලේ සෙල්ලම් කරනව
ගුඩු ගහලා කුන්දු පැනල රේස් දුවල කෑ ගහනව
බැඩ්මින්ටන් ක්රිකට් වගේ රට සෙල්ලම් පස්සෙ එනව
මොක කෙරුවත් අඩුවක් නෑ ගම පිරෙන්න සද්ද වෙනව
දාන් අදින්නෝ වාගෙම කාඩ් ගසන්නොත් ඉන්නව
සද්ද නැතිඋනත් ඒ අය සතුටින් ගේ පුරවනවා”

“කොයි වෙලාවෙ කවුරු උනත් ආවොත් කෑමත් ලැබෙනව
අඩුම ගානෙ තේ එකකින් වත් සංග්රහයක් කරනව
කුස්සිය සහ කෑම මේසෙ නිතරම පාවිච්චි වෙනව
හමුදාවක් ආවත් අපි නෑයො වගේ සලකනවා
අවුරුදු කාලේ ආවම මම හෝටලයක් වෙනවා
ගෙදර ඈයො නෑයෝ මිත්රයො සේරම එක් වෙනවා”

“හවස් වෙලා ලාම්පුවෙන් සමහරු පොත් කියවනවා
බොහෝ වෙලාවට එක්වී සභා සමිතියක් තියනව
නාට්යක් රඟපාන්න කැමති ඈයො එක් වෙනවා
කෑම ලෑස්තියි කිවුවම සභා තොමෝ විසිර යනව”

“දැන් හවසට ඇහෙන සද්ද උලමා ගේ ලතෝනියයි
වවුලො ඇවිත් ගහේ ඉතිරි දෙල් ගෙඩියත් කන සද්දෙයි
හඳ එළියට ඇති ගහකොළ කළු හොල්මන් වගේ පෙනෙයි
මහ ගෙදරින් ඉතිරි වෙලා ඇත්තේ මතකය පමනයි”

තිගැස්සිලා ඇස් ඇරියම හවස් වෙලා බව පෙනෙනව
නින්ද ගිහිල්ලා හිටියද හීන දැක්කදැයි හිතෙනව
නැගිට යන්න පිටත් වෙලා හැරුනම යන්තම් ඇහෙනව
“හෙටත් එන්න මට නම් තව කියන්න හුඟදේ තියෙනව”