මහවැලිය
හොඳ යාළුවෝ කීපදෙනෙක්
මහවැලියේ ඉවුරෙ ඉඳන්
ඇස් දල්වා ගඟ බලලා
මෙහෙම කියනවා
අදහස් ගලාල එනවා
‘ගඟ හොඳටම කෙට්ටුවෙලා
ඇට කටු දිගටම පෑදිල
වැලි ගල් වැඩිපුර පෙනෙන්නෙ
ජල දුප්පත් බව පෙන්නල’
‘කැච්මන්ට් එකෙ වැහැලා නෑ
ඩෑම් ලෙවල් බැහැල දිසා
වතුර රිලීස් කරන්න බෑ
මැනේජ්මන්ට් පොලිසි නිසා’
‘බලන්න අර එහා වලේ
වතුරත් කැටපතක් වගේ
පාටපාට වලාකුළුයි
අහසයි සිතුවමක් වගේ’
‘සෙමින් ගලන වතුර බලා
නිසසල බව ගැන සිතලා
භාවනාවෙ හිත යොදනව
මගෙ ජීවිතෙ සිහි කරලා’
‘මේකෙ ඉන්නෙ මොන මාළුද
අල්ලා ගන්නේ කොහොමද
හම ගලවල මඩ අරින්න
බැදලා ගත්තොත් නරකද’
අන්ධයො අලියෝ බැලුවලු
අතගාලා කෑලි කෑලි
ඇස් පෙනෙනා අන්ධයන්ට
මහවැලියත් කෑලි බෑලි
කතාව මහවැලිය ගැනද
බලා ඉන්න එවුන් ගැනද
අලි බැලුවත් ගඟ බැලුවත්
පෙනෙන්නෙ ඔලුවේ ඇති එක
ඇස් දෙකෙ ඇරලා හොඳටම
බලනව අපි ඈත මෑත
මොලේ පෙනේරෙන් පෙරිලා
ආපු දෙයයි අපේ ඇත්ත