මැදින් ඉන්නෝ

ලෝකෙ ඉන්න උසම මිනිහ ගැන මම එක දෙයයි දන්නෙ
ඔහුට වැඩිය උස කිසිවෙක් දකින්න බැරි බව පෙනෙන්නෙ
ලෝකෙ කොටම මිනිහ ගැනත් ඒ ටික පමණමයි දන්නෙ
බිලියන හතකටත් වැඩියි අනිකො ඊට මැදින් ඉන්නෙ

ඔබගෙ සිරුර මනස මෙවැනි අග මුල් සසඳා බැලුවොත්
ඉගැනීමත් හැකියාවත් පළපුරුද්ද එකතු කරත්
ගති ලක්ෂණ හැඩ වැනිදේ තව ඒකට ගෙන දැම්මත්
තවම ‘මැදින් ඉන්න’ කෙනෙක් ඔබ කොතරම් දක්ශ වුවත්

නමුත් උසින් දිනන මිනිහ මොලෙන් පළමු වැනිය නොවෙයි
එක අතකින් දිනුවත් ඔහු අනික් අතින් පරාද වෙයි
ඔබත් මමත් ඒ වගෙමයි මුළු ජීවිතෙ ‘මැදින්’ ඉඳියි
උඩත් යටත් ඇත්තේ එක සමාන ජන ගහනයකුයි

මගෙ සිංහල එංගලංතෙ මහ රැජිනට වැඩිය හොඳයි
අපෙ බංඩා මා ඉක්මව පොල් කඩන්න හරි දක්ශයි
පොඩි උන්ගේ විද්‍යාව ජනපතිටත් වැඩිය හොඳයි
හංදියෙ කොල්ලෝ ඉන්නව පාපංදුවෙ හරි දක්ශයි
බස් එලවපු අබේරත්න ආගම ධර්මයට ලැදියි
කාණු කපපු රාජා දැන් ඇමති වෙලා සල්ලි සොයයි
ලොව ප්‍රසිද්ද ගායකයෝ ගුවන් විදුලියේ බැබලෙයි
ඊට වඩා හොඳ කවියෝ යුද පිටියේදී මිය යයි

එක මිනුමක දකින ලෙසට කෙනෙක් අපිට උඩින් ඉඳියි
වෙන මිනුමක් අනුව එයා අපිට වඩා යටින් ඉඳියි
අපිට ඇත්තෙ මෙය තේරුම් ගෙන ඒ ලෙස හැසිරීමයි
පයින් ගැසීමත් එක්කම දනගැසීම නැවතීමයි