මිනිසුන් දැකීම

උදේට මගෙ ව්‍යායාමෙ පාර දිගේ ඇවිදීමයි
පැයක් පුරා එකාකාර වේගය මගෙ ඉලක්කයයි
අව්ව වැස්ස ගැන නොබලා දිනපතාම කලෙ මේකයි
ගඟ අද්දර හෝ නගරය ඇවිදින්නට කොහෙත් එකයි

ඇවිදිනවිට මට දැනුනේ ලෝකෙ ඉන්නෙ මා පමණයි
පය තැබුවේ පාරෙ උනත් ඔළුව ගියේ වෙන තැනකයි
පාර අවට ගස්වැල් වාහන නිවාස නොපැහැදිලියි
ඔළුවෙන් එන සංගීතෙට කනට ඇසෙන සද්ද යටයි
අවුරුදු විස්සක්ම පමණ ඇවිද්දෙ මම මේ ලෙසටයි
සිතත් ගතත් අවිදීමෙන් ලැබූ දිවිය නිසංසලයි

නමුත් දිනක් වූ දෙයකින් මේ සියල්ල වෙනස් වුවා
පාරෙ තවත් ඇවිදින්නෙක් මට ‘ගුඩ් මෝනින්’ කිව්වා
වෙඩි වැදුනා වගේ ගමන නොසිතම මම නැවැත්වුවා
මගෙ ඔළුවට බාධා කලෙ මනුස්සයෙක් බව දුටුවා

එහෙමම නැවතිලා මමත් සෙමින්ම වට පිට බැලුවා
මගේම යයි සිතූ පාරෙ අනිකොත් එහෙ මෙහෙ යනවා
පෙරදින චායා ලෙස දුටු අය මිනිසුන් ලෙස දුටුවා
කොල්ලො කෙල්ලො ගෑනු පිරිමි පාරේ දිගටම හිටියා

වයසෙන් ඇදුමෙන් ගමනෙන් එකින් එකා වෙනස් වෙනව
උන්ගේ ජීවිත සිතුවිලි තමාගේම යයි සිතනව
නමුත් එවුන් සියලු දෙනා එක ලෝකෙට අයිති වෙනව
හුඹහෙන් ආ නයෙක් වගේ මමත් එයට ඈඳෙනවා
ඒ මොහොතේ මගෙ ලෝකය විශ්වයෙ තරමට වැඩෙනව
පෙර හිස්වට තිබුනු පාර ජීවිත අරණක් වෙනවා

කූඩුවෙලා හිටිය සතෙක් එලියට එනවා වගේ
හිර ගෙදරින් නිදහස්වී මහපාරට බැස්ස වගේ
මඩට යටව තිබු වී ඇට ලියලා එනවා වාගේ
මේරූ බිත්තර පිපිරී කුරුලු පැටව් ආව වගේ

හඳුනන්නේ නැති කෙනෙකුට ‘ගුඩ් මෝනින්’ යයි කියලා
අපිටත් පුලුවන් ගන්නට අඳුරු දවස් එළි කරලා
කිසිම වියදමක් නැතුවම මනුස්සකම දක්වාලා
එකට ඉඳිමු අප ලගිනා කූඩු වලින් පිටවීලා