මුත්තෙට්ටු
“වේල්ලමුලපෑල” නමින් සරු කුඹුරක් අපිට තිබුන
වේල්ල මුල පිහිටී එහි පෑලක් වපසරිය තිබුන
රඹුකන් ඔය හරවාලා වතුර වේල්ලට ලැබුනා
ලියදි පිරීලා වක්කඩ දියඇලි අයුරෙන් පෙනුනා
කුඹුරු හාන දවසට කුඹුරත් ගෙදරත් කලබල වෙයි
කුඹුරේ මී ගොනුන් ගැනයි ගෙදර පොලොස් ඇඹුල් ගැනයි
තාලයකට උදලු වලින් ගොවියෝ සරු මඩ පෙරලයි
එම තාලයටම වාගේ ගෙදර ඇත්තො පොල් ගෑවයි
නියර සහිනවා වාගේ මැල්ලුම් කොල ලියවෙනවා
මැටිපිඩු නියරට ගැසුවම බදින්න කරවල කැපෙනව
වක්කඩයක් වසා දමා පරිප්පු වේලල උයනව
උඩ ලියද්දෙ වැඩ ඉවරයි හාල් ලිපේ තියවෙනවා
මුත්තෙට්ටුව ගෙනියන්නේ මමයි පුංචි අයිය තමයි
අළුත තවපු කෙසෙල් කොලේ බත් එළවලු වෙන වෙනමයි
බෙදා ගන්න අතුල් පතුයි පොල්කටු හැඳි කෙසෙල් කොලයි
වතුර ගන්න ජෝග්ගුවයි බොන්න ගාපු පොල්කටුවයි
මුත්තෙට්ටුව කමතට ගෙන ආවිට වැඩ නවතිනවා
වියෙන් ගැලවු මීමන්ටත් කෙසෙල් පෙති ගසා දෙනවා
ඇලට බැහැල මඩ හැරලා මුව කට සෝදා එනවා
විඩාවු ගොවියෝ කනවා දැකලා මට කෙළ ඉනෙනව
කෑම ගෙනාපුන් හැටියට අපි මෙතැනදි කන්නේ නෑ
වතුර දෙන්න බත් බෙදන්න වගේ වැඩෙන් අඩුවක් නෑ
බත් කාලා ඉවර වෙලා බුලත් බීඩි නැතිවෙන්නෑ
ගොවියෝ කාලා හිටියට අපෙ බඩගිනි අඩුවී නෑ
ඉතුරු කෑම අහුරා ගෙන ගෙදර එන්ට පිටත් වෙනව
මගක් ඇවිත් ඇලේ කුඹුක් ගස් දැකලා නවතිනවා
දහඩිය දා ඉන්න අපිට ඇලේ වතුර අඬගහනව
ගල් පොත්තක වාඩි වෙලා කෑම පෙට්ටි බිම තියනව
දනිස් ලඟට වතුර එනව සෙවනෙ සනීපය දැනෙනව
අමතක වූ බඩගින්නත් තිබුනාටත් වැඩිය එනවා
අතුල්පත් දෙකක් අරගෙන අළුත් කෙසෙල් කොල දානව
බතුයි පොලොස් පරිප්පු සහ මැල්ලුම් කරවල බෙදනව
හිරු එලියත් කොල අතරින් වැටුනම හොඳ මෝස්තරය
වතුරෙ රැලිත් එක්ක හැදෙන ස්වාභාවික නාර්තනය
සංගීතය සපයන්නේ සැලෙන ගසුත් ගලන ජලය
ඉන්ද්රියො වැඩි පිනවන්නට කෑමේ සුවඳට හැකිවිය
මේ දෙවි ලොව ඉඳලා අපි හෙමින් හෙමින් ගෙදර එනව
වෙලා ගිහින් නිසා ගොඩක් බැනුම් අසයිදත් හිතෙනව
නමුත් අම්ම අපි දැකලා 'මහන්සිද' කියා අහනව
කෙහෙල් ගෙඩියකුත් ලැබෙනව - ගෙදරත් දෙව්ලොව තියෙනව