මුළා වූවෝ

"දිසා තවම මාතලේද?" ඇහුව එකෙක් බඩ කසමින්
"ඌ කොළඹට මාරු කරල - දැක්කෙම නෑ කාලෙකින්"
"කොලෑ වෙලා ඇති ඕකා, මොන කොළඹද ඌට ඉතින්"
"හොයාගනී රා කඩ නම්" තවත් කෙනෙක් කියයි හෙමින්

යාළු මිත්රයෝ ගොන්නක් එකතු වෙලා අපේ ගෙදර
පරණ කතා ඇදබානව එකතු කරල තව විස්තර
කාලේ යනකොට මෙ කතා තව වෙනවා අලංකාර
උන සිද්ධින් පරදවනව ඔප දැම්මවු කතාන්දර

"මතකද අපි දිසත් එක්ක නුවර ගියා" තවත් එකෙක්
"එදාද අර.." කියල තවත් එකෙක් දෙනව පොඩි රුකුලක්
බෝතලයක් දෙකක් ඇරල හිටියදි නැත සීමාවක්
කතා දිගට කියවෙනවා ඇසුවත් නැතුවත් කිසිවෙක්

"දැන් ඒකා බොන්නෙත් නෑ, භාවනාව කරනවාලු"
"මොන බම්බුද - බොරුද කොහෙද" සැකයක් ඇති වෙනවා සුළු
"කසාද බැන්ඳට පස්සේ වෙනස් උනේ" කියයි යහළු
"මමනම් කිවුවා ඕකට" මොක කිවුවද අමතකයිලු

ඊලඟ පැය දෙකක් පුරා දිසාව විග්රහ වූවා
පවුල උගේ ජීවිතයම කාබාසිනියා කෙරුවා
අපි වගේ සැපෙන් හිටියොත් කොච්චර හොඳදැයි හිතුවා
"පවු අප්පා" කියලා අපි දිසාව ගැන දුක් වූවා

සමහරු දැක්කා කියනව දිසා පයින් කඩේ ගියයි
"දිසාලු දැන් දවල් කෑම හදන්නෙ" තව එකෙක් කියයි
ළමයින් ඉස්කෝලෙ එක්ක යන්නෙත් අපෙ දිසා තමයි
පවුලගෙ අම්මලත් එක්ක පන්සල් යන්නේත් දිසයි

පරණ යාළුවෝ සමගින් උගේ නෑනෙ ආශ්රයක්
කවදාවත් එන්නෙත් නෑ යන්නට පොඩි සවාරියක්
ටැලිෆොන් එමේල් ලියුම් වලට නෑනෙ උත්තරයක්
පවුල වැඩේ කාල දාල ඕක හොඳට හිටි කොල්ලෙක්

සති දෙකකට විතර පස්සෙ වුනිසා මට කොළඹ යන්න
හිතුන දිසා හමුවෙන්නට ඇත්ත නැත්ත සොයා ගන්න
දුරකතනෙට උත්තර දුන් දිසා කිවුව දේ සතුටින
"වරෙන් රෑට මෙහේ ඉන්න බත් කටකුත් කාල යන්න"

හවස් වෙලා මමත් ගියා කෙසෙල් ගෙඩිත් දක්කා ගෙන
දිසා විනාශය කල උන් ලෑස්තිවී මුන ගැසෙන්න
ගෙදර දිහා බැලුවා මම යකින්නියෝ නෑ පෙනෙන්න
දිසාගෙ මුහුනේ හිනාව මද්දහනේ දිනිඳු වැන්න

"වරෙන් මචං වරෙන්" කියල මාව අතින් අල්ලා ගෙන
එක්ක ගියා ගේ ඇතුලට "වරෙන්කො තේ එකක් බොන්න"
පවුලට අඬ ගහල කිවුව "කියපු එකා ආව මෙන්න"
සිනහවකින් මුව සරසා ඈ කිවුවා "වාඩි වෙන්න"
"යාලුවො වැඩි එන්නෙ නෑනෙ සන්තෝසයි හඳුන ගන්න
මට ආසයි දිසාගෙ හිටි පරණ යාළුවෝ දකින්න"
"මම ඒහැටි පරණ නෑනෙ" වෙනින් දෙයක් නෑ කියන්න
ලස්සන සිනහවකින් හැකිද යකින්නියක් නැති කරන්න

රෑ කෑමට පස්සේ ඉස්තෝප්පුවේ වාඩි වෙලා
පරණ කතා මතක් කෙරුව තුන්දෙනාම එකතු වෙලා
පළමුව අපි දිසයි මමයි හමුවුන දින මතක් කලා
ඊට පස්සෙ හමුවූ විට කල ගොං වැඩ එකතු කලා
සමහර විට කතා කෑලි හාස්යයෙන් ඉතිරීලා
දිසාගෙ පවුලට හිනහව නවත්තන්න බැරි වීලා
"මාර මිනිස්සුනෙ ඔයාල" කඳුලු පිහල සිනා වෙලා
නැගිට්ට "ගුඩ් නයිට්" කියල, අපි දෙන්නා තනි කරලා

"පරණ යාළුවෝ හිතන්නෙ උඹ උන් ටික අත හැරලා
උන් කැමතියි උඹත් ඇවිත් යනවානම් ජොලි කරලා"
"කෙටි කාලේ ජොලියට නෑ ආසාවක් ඉතිරි වෙලා
ඉන්න විදිහ අල්ලනවා මුලු පවුලම එකතු වෙලා"
"අපි දෙන්නම වැඩ කරනව"
"ළමයින් පාසැල් යනවා"
"සරලව ජීවිතෙ ගෙවනව"
"පරිස්සමෙන් කනව බොනව"
"සෞඛ්ය පාලන කරනව"
"වාහනෙ විකුනා දැමුවා"
"පොඩ්ඩක් ඇඟ වෙහෙසනවා"
"ගෙදර වැඩත් අපි කරනව"
"පොත් පත් හෙම කියවනවා"
"හිටපු ගමන් කවි ලියනව"
"පෝයට පන්සල් යනවා"
"නැන්දම්මා සිල් ගන්නව"

"ආසාවක් එන්නෙ නැද්ද පරන කරපු දේ කරන්න"
"ඉඳල හිටල සමහරවිට - කල් තියෙනව රහත් වෙන්න!"

ගෙදර යන ගමන් බස් එකෙ හිතට නැගෙයි ප්රශ්න ගොඩක්
ජීවිතෙ හැඩ ගැසූ ලෙසට මගෙ යාළුවො වර්ග දෙකක්
දෙකට්ටියම සන්තෝසෙන් ගන්න ඕනැ නෑ පැත්තක්
"අභිමත" සහ "වරද" අතර තේරුම් ගත යුතුයි වෙනසක්