මෝස්තර
නාකි වයසෙ මම කැමතියි පොඩි කඩේක වාඩි වෙලා
තේ පොඩ්ඩක් තොල ගාමින් ඉන්න පාරෙ යන්නො බලා
පෙරහැරමෙන් දෙපැත්තටම යන්නේ උන් පෙල ගැසිලා
ගිය අවුරුදු පනහ ඇතුලෙ මිනිස් පෙනුම වෙනස් වෙලා
හිසේ පටන් යටි පතුලට විපර්යාස වැහි වැහලා
හිතෙන් ලියා ගත්තා මම දකින මෝස්තර බලලා
පටන් ගත්තෙ ඔළු ගෙඩියෙන් විලාසිතා වන් බලන්න
පෙර කල නෑබිලි කොන්ඩෙට දැන් එන නවපන්න මෙන්න
තෙල් ගා පීරලා වගේ
බ්රිල්ක්රීම් නාවලා වගේ
දික්කර බීට්ල්ස් වගේ
බූගා හාමුදුරු වගේ
පාටින් දේදුන්න වගේ
නොසෝද කොහු ලණුව වගේ
පෝනිටේල් බැඳල වගේ
රවුලට එක්වෙලා වගේ
සුම්බරයක් බැඳල වගේ
ලේන්සුවෙන් වහල වගේ
හමුදා තොප්පියක් වගේ
කැප් පැත්තට දාල වගේ
ඉනෙන් උඩට අඳින ඇඳුම් දිනපතාම වෙනස් වෙන්න
නීති පොතේ ලියා ඇතිද බැරියයි එකදේ අඳින්න
කරඋඩ සාළුවක් වගේ
යට සුදු බැනියමක් වගේ
ජාතික ඇඳුමක් වාගේ
සාටකයක් දාල වගේ
අත් දිග හෝ කොට වාගේ
කොලර් ලොකු හො පොඩි වාගේ
ඉඳ හිට ඒ නැතුව වගේ
බොත්තම් පාලම වාගේ
සාක්කු අලවලා වගේ
ලාවට තනි පාට වගේ
තිත් ඉරි කොටු පිරිල වගේ
පාට පාට බතික් වගේ
පිටරට ටී ශර්ට් වගේ
එයි දැන්වීම් පුවරු වගේ
ටයි එකකුත් බැඳල වගේ
කෝට් එකෙන් වහල වගේ
ඉතාම වැදගත් වෙනවා ඉනෙන් පහල වසා ගන්න
එහෙම නැතුව ගියොත් වෙනව කොල්ලන්ගේ හූ අහන්න
කුඹුරට අමුඩයක් වගේ
ගම සරුවාලයක් වගේ
නාල ඇඳපු සරම වගේ
පිජාම හෝ බතික් වගේ
රෙද්දක් වේටියක් වගේ
ගෙදරට කලිසමක් වගේ
කකුල් කොටට මහල වගේ
වැඩට යන්න මැදල වගේ
දිග කලිසම් ඕන වගේ
තුන්කාලේ කකුල් වගේ
ජීන්ස් පොඩි වෙලා වගේ
සාක්කු එලියෙන් වාගේ
බොත්තම් නෑ සිප් වාගේ
පටියෙන් තදවෙලා වගේ
කොහු ලනුවක් බැඳල වගේ
පාවහනුත් මේ වාගේ වර්ග ගොඩයි බෑ ගනින්න
කුඩ, පොත්, මලු වැනි දේවල් හිතුනා අමතක කරන්න
[පිරිමි මෝස්තරත් හැකිද මේතරම්ම වෙනස් වෙන්න
ගෑනුන් ගැන බැලුවොත් මට වෙනව මාසයක් ලියන්න]
දැකල මෝස්තර හිතෙනව මේවා එන්නේ කොහෙන්ද
ඒවා කලඑළි දැකීම පාලනය කරන්නෙ කවුද
අළුත් මෝස්තර ගන්නට අපි පොලඹන්නේ කොහොමද
අපේ තුට්ටු දෙකට ගහල පොහොසත් වන්නේ මොකාද
උන්ට ජයට හිනහ වගේ
අපි ගොනාට ඇඳල වගේ