යකාගේ ආකහේ
උදේ නින්දෙන් සිත නැගිට්ටත්
ගත තවත් ඇත අඩක් නින්දේ
ඉඩෝරෙන් එන මහන්සිය මුළු
පලාතම හික්මවා අත්තේ
අවුවෙ ගිනියම කර කරන ඇඟ
දහඩියෙන් තෙත් වෙලා ඇලවී
දෙමවු පිය දූ පුත් වරුන්ගේ
ඇඳුම් දූවිලි වලට මැලවී
මිනිස්සුන්ගේ මුහුනු බැලුවොත්
මතක් වෙන්නේ වියලි තණකොල
පරන ගෝනිය වගේ දැනෙනව
ඇඳපු අඳුමත් කටේ ඇතුලත්
‘යකාගේ ආකහේ’ කියලා
බැනල හිත යන්තම් හදාලා
රෑට නින්දට යන්ට ඉන්නේ
හෙට දිනය හොඳවෙයි කියාලා
....................
පෙරළි පෙරළී අඳේ ඉද්දී
අලුත් හඬකුයි නැගී එන්නේ
ටකරමෙන් සැදි වහල් තලයේ
මහා වැහිබිඳු බෙර ගසන්නේ
.....................
පරණ කුඩයක් අතට ඇරගෙන
අලුත් ලෝකයකටයි යන්නේ
තිබුන දූවිලි මඩ වෙලා දැන්
කානු ඉතිරී ගලා යන්නේ
පුරුදු ගස්කොල හොඳින් නාලා
වතුර බේරී අත්ත සොලවා
ඇඳුම් තෙත්වී ඇඟට ඇලිලා
කකුල්වල කලු මඩ ඇලීලා
වැස්ස මේ විදිහටම තිබුනොත්
තිබුන කරදර තවත් වැඩිවෙයි
කුඹුර කොරටුව යටවෙලා දැන්
වහලෙ ටකරන් ටිකත් ගැලවෙයි
‘යකාගේ ආකහේ’ කියලා
බැනල හිත යන්තම් හදාලා
රෑට නින්දට යන්ට ඉන්නේ
හෙට දිනය හොඳවෙයි කියාලා